පක්ෂ විනය කඩකිරීම සහ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් ලබන මස 9 වනදාට හෝ ඊට පෙර ලිඛිතව කරුණු දක්වන ලෙස කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරාට සහ සුජීව සේනසිංහට
එක්සත් ජාතික පක්ෂ
මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැනුම් දී තිබෙයි. මේ ගැන විමසන්නට මූලික සාකච්ඡාවක් සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට අද කැඳවා තිබුණත් ඔවුන් එහි නොපැමිණි නිසා මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව ලැබී ඇති පැමිණිලි සහ අනෙකුත් කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරුණු විමසිය යුතු බවට පක්ෂයේ විනය කමිටුව විසින් තීරණය කළ නිසා මෙම දැනුම්දීම කර ඇත.
එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂ නායකත්වය, කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග විවිධාකාරයෙන් විවේචනය කරමින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවිවලද ඔවුන් අදහස් දක්වා ඇති බව කියා තිබේ.