දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මහලේකම් ක්‍රිෂ්ණපිල්ලෙයි
තුරෙයිරාජසිංගම් මෙසේ පවසා ඇත.

“තවමත් ජනාධිපතිවරණය නම් කර නැහැ.

ඊට මත්තෙන් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ ජනාධිපති
අපේක්ෂකයා නම් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය වශයෙන් ගත් කල පළමුව වැදගත් වන්නේ
ජනාධිපතිවරණය නිවේදනය කිරීමයි. අනතුරුව නිල වශයෙන් සිය ජනාධිපති අපේක්ෂකයන් නම් කළ හැකියි.
ඉන්පසුව එම අපේක්ෂකයන් හා සාකච්ඡා කොට අප අවසන් තීරණයක් ගන්නවා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කිසිදු නිල සාකච්ඡාවක් කිසිදු පාර්ශ්වයක් හා
පවත්වා නැහැ. විවිධ අවස්ථාවල විවිධ හමුවීම් සිදුවුවත් ඒ කිසිවක් නිල හමුවීම් වන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දෙමළ ජනතාව දක්වන ස්ථාවරය ඉතා විවෘත එකක්. එහි රහසක්
ඇත්තේ නැහැ. ඔහුව ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කළ අවස්ථාවේ උතුරු නැඟෙනහිර
පළාත්වල රතිඤ්ඤා පත්තු කළ බව පැවැසුවත් එය ගොතන ලද බොරුවක්.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයට හැඟී යන්නේ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නම්
කිරීම ඉතා හදිසි තීරණයක් බවයි. උතුරු නැඟෙනහිර පළාත්වල නායකයන් ස්වල්ප පිරිසක් හැර අනෙකුත්
සියලුදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිටින්නේ එකම ස්ථාවරයකයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව, සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳවත්, තවත් විවිධ වැරැදි
සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. මෙවැනි විවිධ චෝදනා සහිත පුද්ගලයකු ඒවාට මුහුණ නොදී ජනාධිපති අපේක්ෂකයකු
ලෙස නම් කිරීම උපායක් ඒ වගේම හාස්‍යජනක කරුණක්. එය මේ රටට වඩාත් හොඳ තීරණයක් නොවනු ඇති.”