ගුවන් මගීන් මිලියන නවයකට පහසුකම් සැලසෙන පරිදි ඉදිකරන කටුනායක ගුවන්තොටුපළ නව ගුවන් පර්යන්තයේ කටයුතු ලබන නොවැම්බර් මාසය පමණ වනවිට අවසන් කරන බව ගුවන්තොටුපළ හා
ගුවන්සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය. ගුවන්තොටුපළ මගීන්ගේ පහසුකම් සඳහා ගුවන් ටිකට්පත් කවුළු 84ක් දක්වා වැඩි කරන බවත් ආගමන

විගමන කවුළු 6ක් අලුතින් ස්ථාපිත කරන බවත් ඔහු සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඉකුත්දා (06) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.  මෙයට පෙර කටුනායක ගුවන්තොටුපළ මගීන් වසරකට ගුවන් මගීන් මිලියන හයක් හැසිරවීම සඳහා පහසුකම් සලසා තිබුණි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි දෙවනි ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු පැකේජය යටතේ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 9ක් මෙහෙය විය හැකි ගුවන් මගී පර්යන්තයක් ඉදිවනු  ඇත.

ගුවන්තොටුපළ යාත‍්‍රා අංගනය (apron )නවීකරණය කිරිමෙන් පසුව අතිරේක ගුවන් යානා 23ක් සඳහා නැවතුම් පහසුකම් සැලසෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. ගුවන් මගීන්ට පහසුකම් සැලසීම මෙන්ම ආදායම් ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළේ අරමුණ  බවත් ඔහු වැඩිදුරටත් පැවැසිය.