ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මධ්‍යම වායු සමීකරණ පද්ධතිය යළිත් වරක් අක්‍රීය වීමෙන් ශල්‍යාගාර හයම ඊයේ (07දා) වසා දැමීමට සිදුවීම මත සියලුම ශල්‍යකර්ම නවතා දැමීමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් පොරාත්තු ලේඛනයට අනුව ඊයේ දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ රෝගීන් 30 දෙනෙකුගේ පමණ
ශල්‍යකර්ම නවතා දැමීමට සිදුවූ බවත් රෝහල් කාර්යමණ්ඩලය පවසයි.

වසර 20ක් පමණ පැරණි රෝහල් වායු සමීකරණය පද්ධතිය වරින්වර අක්‍රීයවීම මත මීට කෙටි කාලයකට පෙරද මේ ආකාරයටම සියලුම ශල්‍යාගාර වසා දැමීමට සිදුවීම හේතුවෙන් සාමාන්‍ය වායුසමීකරණ සවි කොට ඇති නමුත්, මින්
ආසාධිත තත්වයන් ඇතිවීය හැකි බව  ශල්‍යාගාර කාර්යමණ්ඩලය පෙන්වා දුන්නේය.

මධ්‍යම වායු සමීකරණ පද්ධතියක් අලුතින් ලබාදීම වෙනුවට පැලැස්තර විසඳුම් ලබාදීමෙන් මෙවන් තත්වයක් උදාවී ඇති බවද ඔවුහු පැවසූහ.මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව මගින් මාධ්‍ය දැනුවත් කිරීමක් කළ අතර මෙහිදී ශාඛා සභාපති වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා කියා සිටියේ, රෝහල් ශල්‍යාගාර සඳහා  අවශ්‍ය මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුතින් ලබාදීම වෙනුවට සාමාන්‍ය වායුසමීකරණ ලබාදීමෙන් ඵලක් නොවන බවය.

රෝහලෙහි පවතින අයහපත් තත්වය සොයා බැලීම පිණිස පසුගිය දිනක පළාත් ලේකම්වරයා, පළාත් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරින් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වුවද අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීමට  පියවර ගෙන නොමැති බව ඒ මහතා පැවසීය.

මෙම රෝහලෙහි අඩුපාඩු රාශියක් පවතින බව මෙහිදී වෛද්‍ය සංගමය ගම්පහ ශාඛා උපසභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් මහතා පැවසූ අතර, රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුම පවසා සිටියේ අසරණ රෝගීන් වෙනුවෙන් පවතින අවශ්‍යතා සපුරාලීමට කඩිනමින් පියවරගත යුතු බවයි.

ඊයේ ශල්‍යකර්ම නවතා දැමීමෙන් පසුව සිදු වූ අපහසුතාව පිළිබඳව රෝගීන් කිහිප දෙනෙකුම අදහස් දැක්වූ අතර, එක් රෝගී කාන්තාවක් පවසා සිටියේ තමන් ශල්‍ය කර්මයක් සඳහා මාස එකහමාරක කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි බවය.

 පවතින මෙම අයහපත් තත්වය  හේතුවෙන් සතියකට දින දෙකක් රෝහලෙහි අක්ෂි ශල්‍යකර්ම 80ක් පමණ සිදු කෙරෙන බැවින් ඒ සියල්ලද නතර කිරීමට සිදුවනු ඇති බවද දැනගත හැකි විය.  මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් සිදුකළ විමසීමේදී ඒ මහතා පවසා  සිටියේ , මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුතින් සවිකරලීම පිණිස අදාළ අංශ දැනුවත් කොට ඇති බවත්,  ඒ සදහා කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.

- තිලකරත්න දිසානායක-