පහ වසර ශිෂ්‍යන්ට විභාගයේ  පිළිතුරු පත්‍ර කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ  පිරිසක් ගමන් කළ වෑන් රථයක් අඹන්පොළ, කායිකොටේ හන්දියේ දී ඊයේ (5) අලුයම 12.45ට පමණ  ගැටීමෙන් හත් දෙනකු තුවාල ලබා  රෝහල්ගත කර ඇතැයි අඹන්පොල පොලිසිය කීය.
ලොරි රථයෙන් ප්‍රවාහනය කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් පහ 
වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ පිළිතුරු පත්‍ර බව පොලිසිය කිය.පාදෙණිය-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ  අඹන්පොළ, කාසිකොටේ හන්දියේ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනුරාධපුරය දෙස සිට ධාවනය කරමින් තිබූ ලොරි රථයක් නතර කිරීමට විධානය කරද්දී ලොරි රථයේ වේගය අඩුවනවාත් සමගම පිටුපසින් පැමිණි වෑන් රථය ලොරි රථයේ ගැටීමෙන් යම් අනතුර සිදුව ඇතැයි පොලිසිය කිය.

වෑන් රථයේ ඒ වන විට පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු නව දෙනකු ගමන් කර ඇති බවත්, ඉන් හත් දෙනකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කිය. තුවාලකරුවන්ගෙන් සිවු දෙනකු කුරුණෑගල මහ රෝහලටත්, තිදෙනකු ගල්ගමුව මූලික රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිසිය කිය. වෑන් රථයේ ගමන් කළ ආදුරුප්පුවීදිය පොලිසියේ සේවය කරන කොස්තාපල් ප්‍රනාන්දු (84202) මහතාට ද සුළු තුවාල සිදුව තිබූ බව ද පැවසේ.

ලොරි රථයේ වේගය අඩුම කරනවාත් සමගම පිටුපසින් පැමිණි වෑන් රථයේ රියැදුරු එහි වේගය  පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ලොරියේ පිටුපස වෑන් රථය ගැටී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ.  අනතුර සිදුවන විට ලොරි රථයේ රියැදුරු සහායක හා පිළිතුරු  පත්‍රවල ආරක්ෂාවට යොදවා සිටි ආදුරුප්පුවීදිය පොලිසියේ කොස්තාපල් රත්නායක (36016) මහතා ගමන් කර තිබූ බවත් ඔවුන්ට අනතුරක් සිදුව නැති බවත් පොලිසිය කීය.

අනතුර සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණ පැවැත්වූ අඹන්පොළ පොලිසිය පිළිතුරු පත්‍ර ප්‍රවාහනය කළ ලොරි රථය ඊයේ (5) අලුයම වන විට නිදහස් කර පිළිතුරු පත්‍ර රැගෙන යාමට අවශ්‍ය  කටයුතු සම්භපාදනය කොට තිබේ. අඹන්පොළ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

-නිහාල් ජයවීර-