මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ නොගෙවා ඇති රුපියල් මිලියන 4,400ක මුදල පියවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේ අවසර ඉල්ලා සිටියද එම මුදල පියවීමට රජයට හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජපක්ෂ ආණ්ඩු සමයේදී රාජ්‍ය සහ පෞද්ගලික
ආයතන වෙත මෙන්ම විවිධ පුද්ගලයන් වෙත ගෙවිය යුතු මෙතක් ගෙවා නොමැති හිඟ මුදල් ගෙවීමට මුදල් ලබාගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට මෙම කැබිනට් පත්‍රිකාව යොමුකර තිබිණි.

එසේ වුවද එම ගෙවීම්වල විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න රැසක් මතුව ඇති බවත්, ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය නොකර සිදුකළ ගනුදෙනු හේතුවෙන් මහා භාණ්ඩාගාරයට මේ සඳහා මුදල් වෙන්කිරීමේ අපහසුතාවක් හටගෙන ඇති බවද වාර්තා වේ. එමෙන්ම වර්තමානයේ රජය මුහුණ දෙන ආර්ථික අපහසුතා හමුවේ මෙතරම් විශාල මුදලක් පියවීමට කටයුතු කිරීමට නොහැකි බවද මහා භාණ්ඩාගාරයේ
සහ මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර පසුගියදා පැවැති සාකච්ඡා හරහා පැමිණි එකඟතාවන්ට අනුව මෙම හිඟ මුදල් පියවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 4,400ක හිඟ මුදල් අතර ජනාධිපති ලේකම් කාර්යාලයට ආනයනය කළ භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 2,000ක්ද, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රුපියල් මිලියන 113ක මුදලක් ශ්‍රී ලංකා එයාර්ලයින් වෙතද ගෙවීමට ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත.

කාල්ටන් නිවසේ පැවැත්වූ විවිධ උත්සව අවස්ථා සඳහා වැය වූ මුදල් ලෙස ගංගා කෙටරීන් සේවය වෙත රුපියල් මිලියන 10ක්, විවිධ පාරීභෝගික ද්‍රව්‍ය, ටෙන්ට් සහ තාවකාලික ආවරණ සඳහා ප්‍රේමසිරි ස්ටෝස් වෙත රුපියල්
මිලියන 10ක මුදලක් ගෙවීමට ඇති බවද එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම කාලසීමාව තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිතය සදාහා පෞද්ගලික ලීසිං සමාගමකින් ලබාගත් වාහන 78ක් සඳහා රුපියල් මිලියන 1,500ක්ද ගෙවීමට ඇති බවද එහි දක්වා ඇත.ඒ අනුව මෙම රුපියල් මිලියන 4,400ක මුදලින් රුපියල් මිලියන 2,100ක මුදලක් පෞද්ගලික ආයතන සහ තනි පුද්ගලයට ගෙවීමට ඇති බවද අදාළ කැබිනටි පත්‍රිකාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් හමුවේදී සාකච්ඡා කිරීමට සුදානමින් සිටින බව ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙක්  පැවසූහ.

-චාමර සම්පත්-