ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරන කොළඹ නැගෙනහිර නගරය සඳහා වූ "විශේෂ ජල ව්‍යාපෘතියක්" එම මණ්ඩලයේ සභාපතිවරයා ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා රුපියල් කෝටි 40 කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ, විමර්ශන කොට්ඨාසය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

2006 අංක 06 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාර හෝ වෙනත් යම් ව්‍යවස්ථාපිත නීතියක් මගින් වරදක් වශයෙන් අර්ථ දක්වා ඇති කිසියම් සාපරාධී ක්‍රියාවක් හෝ නොකර හැරීමක් මෙමගින් සිදුවී ඇති දැයි යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සදහන් කරමින් මුල්‍ය
අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 4 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතා එලෙස අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මම සිද්ධියට අදාළ පැමිණිල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කර ඇත්තේ ජල සම්පාදක මණ්ඩලයේ හිටපු කයකු වූ ගල්කිස්සේ පදිංචි මොහාමඩ් මොහිදිත්
මොහාමඩ් ඉමිතියාස් යන අය විසිනි.

කොළඹ නැගෙනහිර නගර සඳහා වූ විශේෂ ජල ව්‍යාපෘති අදියර 1 2 3 වශයෙන් මෙම ව්‍යාපෘතිය ඉකුත් 2015 වර්ෂයේ සිට මේ වන තෙක් පවත්වාගෙන යන බවත් ඒ සඳහා වැයවන මුදලට වැඩියෙන් රුපියල් මිලියන 4000ක මුදලක් යොදා මෙම වංචාව සිදුකර ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම ව්‍යාපෘතියට අදාළව ඉකුත් 2013 වර්ෂයයේ පුවත්පත් දැන්වීම් මගින් ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවන් බඳවාගෙන ඇති බවත්,
එම කොන්ත්‍රාත්කරුවන් වෙත අදාළ වංචා කළ මුදල් ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වූ කේ.ඒ. අන්සාර් සහ අදාළ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ එස්.ඒ. රශීඩ් යන අයගේ අනුදැනුම මත සිදුවී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අදාළ ව්‍යාපෘතියේ ඉංජිනේරුවන්, කාර්යාලවලට ගෙවීම්, පස් දැමීම්, අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම්, වතුර මීටර් සඳහා අදියට යොදවමින් මෙම වංචාව සිදුකර ඇති බවත්, රාජ්‍ය ආයතනයක් වෙත මෙම මණ්ඩලයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

-නිමන්ති රණසිංහ-