හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී නොගෙවන ලද රුපියල් බිලියන 4.4ක මුදලක් ගෙවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව මහා භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. රාජ්‍ය අරමුදලින් අදාළ මුදල් ගෙවිය නොහැකි බව ද මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබේ. පවතින මූල්‍ය රෙගුලාසිවලට අනුව
ගෙවීම් කිරිම සඳහා අවසර දිය හැක්කේ 2015 වසරෙන් පසු මූල්‍ය ගනුදෙනුවලට පමණක් බව මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.  මේ අනුව අතිවිශාල මුදලක් ණය වශයෙන් ඉතිරි වනු ඇතැයි පැවසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී කරන ලද වියදම් වෙනුවෙන් නොගෙවූ රුපියල් බිලියන 4.4ක මුදල ගෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව පසුගිය සතියේදී වාර්තා විය. අදාළ කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය යැයි අමාත්‍ය මණ්ඩලය
එහිදි තිරණය කර තිබේ.

මේ අනුව අදාළ මුදල ගෙවිය නොහැකි බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබෙන අතර සුදුසු පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍යගය නිරික්ෂණ ජනාධිපති ලේකම් කාර්යාලයට යැවීමට අමාත්‍යවරුන් තීරණය කර ඇත.  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති සමුළුවකදී මෙම කරුණු සාකච්ඡාවට ලක්ව තිබේ. මුදල් නොගෙවු ඇතැම් ගනුදෙනු සිදුවී ඇත්තේ 2006 වසරේදී යැයි ද මෙහිදී අනාවරණය වී තිබේ.
ඇතැම් ගෙවීම් නිසි පරිදි සිදුව නැත්තේ අදාළ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය නොකළ නිසා යැයි ද, ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් නැතැයි ද තවදුරටත් අනාවරණය වී තිබේ.

වර්ල්ඩ් එයාර් පෞද්ගලික සමාගමට රුපියල් මිලියන 112ක්,වුඩ්ස්ටොක් පෞද්ගලික සමාගමට රුපියල් මිලියන  71.9ක්, මාගා ඉංජිනියරින් සමාගමට රුපියල් මිලියන 70ක්, අබාන්ස් පෞද්ගලික සමාගමට  රුපියල් මිලියන 24.7ක්, ශ්‍රී ලංකා ග්‍රැනයිට් සමාගමට රුපියල් මිලියන 24.4ක්, ඊ.ටී.ඒ මෙල්කෝ ඉංජීනියරින් සමාගමට රුපියල් මිලියන 12.9ක්, බී. සරමසිරි සමාගමට රුපියල් මිලියන 12.2ක් සහ ප්‍රේමසිරි ස්ටෝර්ස් සමාගමට රුපියල් මිලියන 10.3ක් වශයෙන් පෞද්ගලික සමාගම්වලට ගෙවිය යුතුව ඇත.  මීට අමතරව ශ්‍රී ලංකා රේගුවට රුපියල්  බිලියන 2ක මුදලක් ගෙවිය යුතුව ඇතැයි පැවසේ.

-දමිත් වික්‍රමසේකර-