ශ්‍රී ලංකන් සමාගමේ ගුවන්යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සහ 2013 හා 2014 වර්ෂවල එළඹ තිබූ A 350-900 ගුවන්යානා 08ක් අත්පත් කරගැනීමේ ගිවිසුම අවසන් කිරීමේදී පමණක් ඇමරිකන් ඩොලර් මිලියන 115.77ක් හෙවත් රුපියල් මිලියන 17,058.1ක් වැනි අතිවිශාල වන්දි මුදලක් ගිගෙවීමට සිදුවීම මගින් රටේ
ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදු වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

2013-17 කාලයේදී පමණක් ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදලින් මෙම ගුවන් සමාගමට ඩොලර් මිලියන 98ක වන්දියක් ගෙවා තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 11,600කට ආසන්න මෙහෙයුම් අලාභයක් ලබා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ආයතනය 2009 සිට 2019 දක්වා රුපියල් කෝට් 24,000 ක පාඩුවක් ලබා තිබෙන බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයේ බැංකු හා බනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනවලට රුපියල් බිලියන 146ක ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන බවත් ඔහු කීය.

මෙම ගුවන්යානා අත්පත් කර ගැනීමත්,එම ගිවිසුම් යළි අවසන් කිරීමත් නිසා ශ්‍රී ලංකා
රජය ජනතාවට විශාල පාඩුවක් සිදුකර තිබෙන බැවින් පාර්ලිමේන්තුවේ දිනක විවාදයක් අවශ්‍ය බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුම් අවලංගු කිරීම සමීබන්ධයෙන්පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප්කමිටුව) සකස් කළ වාර්තා දෙක ඊයේ (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සුනිල් හඳුනෙත්ති මහතා මේ බව කියා සිටියේය.

විගණකාධිපතිවරයා විසින් පොදු ව්‍යාපාර කාරක සභාවට ඉදිරිපත් කළ නිරීක්ෂණ, නිර්දේශ හා නිගමන ආශ්‍රයෙන් මෙම වාර්තා සකස් කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගිවිසම් අවලංගු කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණදී තිබෙන බවත්, රජයේ බැංකු හා තෙල් සංස්ථාව මෙම ගුවන් සමාගමට දැනට රුපියල් බිලියන 102ක් ණය ලබා දී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ සඳහා උපදෙස් ගත් සමාගම්වලට ඩොලර්වලින් විශාල වන්දියක් ගෙවා තිබෙන බවත්, නමුත් අවසානයේදී රජයට ලැබුණු දෙයක් නොමැති බවත් ඔහු කීය.

මේ සඳහා විවාදයක් ලබාදිය හැකි බව සභානායක ලක්ෂ්මන් කිරීඇල්ල මහතා පැවසූ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සදහන් කළේ කුමන ආණ්ඩුවක් යටතේ මෙවැනි කටයුතු සිදු වුවද වැරැද්ද වැරැද්දම බවයි.

මෙලෙස ගුවන්යානා අත්පත් කර ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සඳහා නීතිපති මතය විමසීමට කටයුතු
කර නොතිබූ බවත්, එංගලන්තයේ Aviation Legal Experts නම් නීති උපදේශන සමාගමෙන් ලත් මගපෙන්වීම යටතේ මෙම අවසන් කිරීමේ ගිවිසුම සකස් කර තිබෙන බවත් කාරක සභාවේ නිරීක්ෂණයට ලක්වූ බව ඊයේ ලබාදුන් වාර්තාවේ දැක්වේ .

ශුද්ධ වත්කම් සණ මට්ටම් පවතින ආයතනයක් ලෙස ගුවන්යානා අත්පත් කරගැනීමේ ගිවිසුම් අවසන් කිරීමට තීරණය කිරීමේදී ඇමරිකන් ඩොලර් මිලියන 115.77ක් හෙවත් රුපියල් මිලියන 17,058.1ක් වැනි විශාල මුදලක් වන්දි  වශයෙන් ගෙවීමට සිදුවීම මගින් ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුවන බව කාරක සභාවේ
නිරීක්ෂණයට ලක්වූ බවද ඒහි සදහන් කර තිබේ.

ගුවන්යානා අත්පත් කරගැනීමේ ගිවිසුම අවසන් කිරීමේ සකචිඡා සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ නිලධාරීන් හා මුදල් අමාත්‍යාශයේ නිලධාරීන්න පමණක් සහභාගි වී තිබෙන බවත්, ඊට අදාළ අමාත්‍යාංශය වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගි වී නොමැති බවත් නිරීක්ෂණවල දැක්වේ.

මේ අතර සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන්යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සහ 2013 හා 2014 වර්ෂවල එළඹ තිබූ A 350-900 ගුවන්යානා 08ක් අත්පත් කරගැනීමේ ගිවිසුම අවසන් කිරීම සංම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කරන ලද විශේෂ විගණන වාර්තාවේ නිගමනද එම වාර්තාවට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ගුවන්යානා ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී උපදේශක සේවා ලබාගැනීම, ගුවන්යානා මිලදී ගැනීමට හා කල්බදු ගැනීමට සමාගම තෝරාගැනීම යන අවස්ථාවල ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කටයුතු කර නොමැති බව විගණකාධිපතිවරයා නිගමනය කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව විධිමත් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයකින් තොරව නවීනතම ගුවන්යානා 14ක් වර්ෂ 08ක් තුළ ගුවන්යානා ඇණියට එකතු කිරීමට සමාගම් කළමනාකරු විසින් ගනු ලැබූ තීරය සිය බලය ඉක්මවා ගන්නා ලද තීරණියක් බවත්, එකී තීරණිය අසාර්ථක වීම සමිබන්ධයෙන් වගකීමට එම නිලධාරීන් බැදෙන බවත් විගණකාධිපතිවරයා නිගමනය කර තිබේ.

A-350 -900 වර්ශයේ ගුවන්යානා 04ක් බදු පදනම මත ලබාගැනීමේ ගිවිසුම අවලංගු කිරීමේ ක්‍රියාවලියේදී ගෙවන ලද රුපියල් මිලියන 17,058.1ක් වූ ඍජුව හඳුනාගත හැකිවූ අලාභයක්ද, 2020/21දී ලැබීමට නියමිත A-350 -900 වර්ගයේ ගුවන්යානා 04 පිළිබඳ ගිවිසුම් වෙනස් කිරීමේදී ගෙවීමට සිදුවිය හැකි වන්දි මුදල්ද ඇතුළු සමස්ත අලාභය සඳහා මෙම සමස්ත ක්‍රියාවලියට අදාළ කාලසීමාව තුළ කටයුතු කළ කළමනාකරණය වගකීමට බදෙන බවද විගණකාධිපතිවරයා නිගමනය කර තිබේ.

ගුවන්යානා ඇණිය ප්‍රතිස්ථාපනය සඳහා ලබා දී තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 375ක් වූ අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් 355.5 කළමනාකරණය විසින් ජංගම වගකීම පියවීම සඳහා බනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා තිබීම හේතුවෙන් සැලසුම් කළ පරිදි ගුවන්යානා ඇණිය ප්‍රතිස්ථාපනය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා වැය කිරීමට අරමුදල් නොමැති වීම සම්බන්ධයෙන් සමාගමේ කළමනාකරණය වගකීමට බැඳෙන බවද විගණකාධිපතිවරයා නිගමනය කර තිබේ.

අමිත් මධුරංග