අවුරුදු හතරක සහ මාස හයක පමණ වයසේ පසුවන එකම පවුලක දැරියන් දෙදෙනකු පෑලියගොඩ දුටුගැමුණු මාවතේ අතහැර දමා ගොස් සිටියදී පෙරේදා (20) දහවල් සොයා ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි. මෙම දැරියන් දෙදෙනාගේ පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන බවත්
මෙම දැරියන් දෙදෙනාගේ මව විසින් ඇයගේ දරු දෙදෙනා මෙසේ දුටුගැමුණු මාවතේ අතහැර දමා ගොස් ඇති බවට පරීක්‍ෂණවලින් තොරතුරු හෙළිවිණි යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.

බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු නොසලකා හැර මහමග අතහැර දමා ගොස් කෲරත්වයට පත්
කිරීමේ චෝදනාව යටතේ මෙම දැරියන් දෙදෙනාගේ 21 හැවිරිදි වියේ පසුවන බව කියන මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.සැකකාර මව ආගිය අතක් මෙතෙක් සොයා ගැනීමට  නොමැති බව පොලිසිය කීය.අත්අඩංගුවට ගැනීමට සොයන කාන්තාව (දැරියන්  දෙදෙනාගේ මව) සිය සැමියා මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් ඛාරයට පත්විමෙන් පසු කොළඹ ප්‍රදේශයේ සිට පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි නිවසක කුලී පදනම මත පදිංචි වි සිට ඇති බව කියති.

අතහැර දමා ගොස් සිටි දරුවන් දෙදනා කාගේ කවුරුදැයි හඳුනාගත් ප්‍රදේශවාසියකු ඒ බව දරු දෙදෙනාගේ ඥාති  කාන්තාවකට දැනුම් දී ඇත. ඥාති කාන්තාව ඒ අනුව එහි පැමිණ දැරියන් දෙදෙනා  කැඳවාගෙන ගොස් පොලිසියට බාරදී තිබේ.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-