https://www.gossiplankanews.com/2019/08/17-son-unexpected-death.html#more
දෙමාපියන් අතර ඇතිවූ ආරවුලක් මැද්දට පැන බේරන්නට යාමේදී අවාසනාවන්ත ලෙස 17 හැවිරිදි පුතෙකු මියයාමේ සිද්ධියක් ඊයේ වාර්තාවූයේ බලන්ගොඩ ප්‍රදේශයෙනි.
බලන්ගොඩ, මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ නිවෙසක පියා සහ මව අතර ඇතිවූ ගැටුමක් මැදදී පියා මවට එල්ල කළ උදලු මිටි පහරක් හිසේ වැදී බරපතල තැල්මක් සිදුවීමෙන් පසු
නවීන් ධනංජය නමැති මෙම දරුවා මියගියේය.
උදලු මිට පහරක් හිසට වැදී දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මෙම දරුවා දින 5 ක් පමණ ප්‍රතිකාර ලද අතර පසුව ඊයේ (12දා) මියගොස් ඇත.
රෝහල් බලධාරීන් දන්වා ඇත්තේ හිසට වැදුණ තදබල පහර නිසා

මොළයේ අභ්‍යන්තර රුධිර වහනය මත මෙම මරණය සිදුව ඇති බවයි.

මියගිය දරුවා බළන්ගොඩ විද්‍යාලෝක මධ්‍ය මහ විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය. නිවසේ නිරන්තරයෙන් ආරවුල් සිදුව ඇති අතර පසුගිය පස්වැනිදා සවස නිවෙස තුළදී එවන් ආරවුලක් පැනනැගී තිබේ. පියා සිය මවට එල්ල කළ උදලු මිට පහරක් වැළැක්වීම සඳහා මැද්දට පැන්න 17 හැවිරිදි දරුවාට එම උදලු මිට පහර එම අවස්ථාවේ වැදී ඇත.

එම උදලු මිට පහර දරුවාගේ හිසට වැදී අධික ලෙස ලේ පිටවීමක්ද සිදුවී තිබේ. නමුත් එම අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නට දෙමාපියන් කල්පණා කර නැති අතර තැල්මට බාම් පමණක් ආලේප කර ඇත.

සිද්ධිය වී දවසක් පමණ ගතවූ පසු මෙම දරුවාට වමනය හා ඉදිමුම දිගටම පැවතීම නිසා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තත්ත්වය අසාධ්‍ය බැවින් ඔහු රත්නපුර මහරෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර යවා තිබිණි. එම අවස්ථාවේ දෙමාපියන් ඔවුන්ගේ රණ්ඩුව ගැන රෝහලට දන්වා තිබී නැති අතර දරුවාගේ මව රත්නපුර රෝහල් පොලිසියට කියා තිබුනේ උගුඩුවෙකුට පහරක් එල්ල කරන්නට පොල්ලක් විසිකරද්දී එය වැරදීමකින් හිසේ වැදී ඇති බවය.


දින දෙකකට පසු රත්නපුර රෝහල් පොලිසිය විසින් බළන්ගොඩ පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් කර තිබුණේ පියකු නිවෙසට පැමිණි උගුඩුවකුට එල්ල කළ පොලු පහරක් වැදී බළන්ගොඩ, මස්සැන්න ප්‍රදේශයේ දාහත් හැවිරිදි දරුවකු බළන්ගොඩ මූලික රෝහලේ සිට රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇති බවත් මේ සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින්
පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්ය.
මේ සම්බන්ධයෙන් ඉකුත් (08දා) බළන්ගොඩ පොලිසිය එම දරුවා පදිංචිව සිටි නිවෙසට ගොස් විශේෂ පරීක්ෂණයක් ආරම්භ
කර දරුවාගේ 13 හැවිරිදි සහෝදරිය දුන් ප්‍රකාශ අනුව පහර දුන්නේ පියා බව අනාවරණය කරගන්නා ලදි.

උදලු මිටද එම නිවෙසේ ඇඳ යට තිබී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.  අනාවරණය කරගත් තොරතුරු අනුව දරුවාට පහරදීම සම්බන්ධ පියා
අත්අඩංගුවට ගැනීමට බළන්ගොඩ පොලිසියේ නිලධාරීහු කටයුතු කළහ.
 එහිදී දරුවන්ගේ මවගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් දරුවන්ගේ පියා වන නිමල් ජයරත්න නොහොත් මහතුන් නමැති 39 හැවිරිදි සැකකරු බළන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්.එන්. ගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.