පරෙවියන් සම්බන්ධයෙන් කුඩා දරුවන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් ඔවුන්ගේ ඥාතීන් අතර පහරදිමක් සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, කාන්තාවන් සිවුදෙනකු ඇතුළු දහතුන්දෙනකු පෙරේදා (30දා) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස
අත්අඩංගුවට පත්ව ඇත්තේ
තංගල්ල නෙටොල්පිටිය බෙලිවලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දහතුන්දෙනෙකි.

පරෙවියන් සම්බන්ධයෙන් කුඩා දරුවන් දෙදෙනකු අතර දැනට මාස කිහිපයකට පමණ ඉහතදි ආරවුලක් ඇති වී තිබූ අතර මෙම ගැටලුව දරුවන්ගේ ඥාතීන් අතරටද යෑම නිසා ඔවුන් දෙපිරිසද දිගින් දිගටම ආරවුල් ඇති කරගෙන ඇතැයි පොලිසිය කියයි.ඔවුන් දෙපිරිස අතර පෙරේදා (30දා) නෙටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේදී යළි ගැටුමක් හටගෙන ඇති අතර එහිදි එක් දරුවකුගේ පියකු 56 වර්ගයේ පතරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනි අවියක් රැගෙන අනෙක් පාර්ශ්වය දෙසට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.

එහිදී අනෙක් පාර්ශ්වය විසින් ගිනි අවිය උදුරාගෙන එය රැගෙන ගොස් තංගල්ල මූලස්ථාන පොලිසියට භාර දී ඇත. එම  අවස්ථාවේදී දෙපිරිස අතර පහරදිමක්ද සිදුව ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරිහු කාන්තාවන් සිවුදෙනකු ඇතුළු දහතුන් දෙනෙක් අත්අඩංගුවට ගන්න. මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන තවත් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු පරික්ෂණ පවත්වති.

-සහම්පති මානගේ-