ඇමරිකාවේ වොෂින්ටන් අගනුවරට පෙරේදා (08) හිටිහැටියේ මහ වැසි ඇද හැලුණු අතර, ජනාධිපති මන්දිරය හෙවත් "ධවල මන්දිරයෙ'' පවා ජලයෙන් යටවිය.



ජලයෙන් යටවූයේ ධවල මන්දිරයේ බිම් මහලය. ධවල මන්දිරය පමණක් නොව වොෂින්ටන් අගනුවර පිහිටි ඇමරිකාවේ රාජ්‍ය ආයතන රැසක් ද ජලයෙන් යට විය.

ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමෙන්තුව ද ජලයෙන් යටවුණු නමුත් එහි සුරැකිව තබා ඇති වටිනා ලියකියවිලිවලට කිසිදු හානියක් සිදු නොවුණු බව වාර්තාවිය.  ජල ගැලීම් හේතුවෙන් වොෂින්ටන් අගනුවර විදුලි බල සැපයුම ද අඩපණය විය. උමං දුම්රිය ගමන් බිමන් නැවැතිණි.

වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි යැයි ඇමරිකන් කාලගුණ විද්‍යාඥයන් ක‍ල්තියා පවසා තිබුණද  මෙතරම් දරුණු තත්වයක් පිළිබඳ අනාවැකි කීමට ඔවුන් අපොහොසත් වී තිබුණි.

පෙරේදා (8) වොෂින්ටන් අගනුවර වේලාවෙන් උදෑසන 9 සිට 10 දක්වා කාලයේ මිලිමීටර 84 ක වර්ෂාපතනයක් ඇද හැලුණි. මීට පෙර  වොෂින්ටන් අගනුවරට පැයක් ඇතුළත ඇද හැලුණු වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 56 කි. සාමාන්‍යයෙන් ජූලි මාසයේ වොෂින්ටනයට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැලයි.

 ජූලි මාසයේ වැඩිම වර්ෂෂාපතනයක් වාර්තා වූයේ 1871 වසරෙන් පසුව යැයි ඇමරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වොෂින්ටන් අගනුවර අයත් වන්නේ කොලොම්බියානු දිස්ත්‍රික්කයටය. ආලින්ටින් සහ වර්ජිනියා පළාත්වලට පැයක් තුළ මිලිමීටර් 127 ක වර්ෂාපතනයක් ලැබී ඇත.

සැඩ රළ පහර සමඟ හටගත් හදිසි ජල ගැලීම හේතුවෙන් මාර්ග යටවීමෙත් වාහන මාර්ගවල සිරවිය.