ඌරගස්මංහන්දිය, මහවෙල ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් රන් භාණණ්ඩ සොරාගත් බව. පවසා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය තුළ, දින දෙකක් රඳවා ගනිමින් අමානුෂික වධ හිංසාවලට හා පහරකෑමට ලක්වූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුළත් කිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම  පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ සිරුරේ

ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට ඇති අතර දෙඅත් සම්පූර්ණයෙන්ම අප්‍රාණික වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ පිළිබඳව පොලිස්පතිවරයාට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයාට හා මානව හිමිකම් කොමිෂන් සභාවට  පැමිණිලි කර ඇති බවද පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීහු පවසති.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ, ඇල්පිටිය මත්තක ප්‍රදේශයේ පදිංචි අලෙවි නියෝජිතයෙකු වන චන්දිම මධුෂාන් (අවු.24) නමැත්තෙකි.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ
චන්දිම මධුෂාන් මෙසේ පැවසීය.

“ඉකුත් 21, ඌරගහ, මහවිල ප්‍රදේශයේ අලෙවි සැල්වලට බිස්කට් අලෙවි කිරීම  සිදුකළා. ඒ මමත්, රියදුරුත් සමගයි. පසුගිය 22දා සවස මහවිල ප්‍රදේශයේ එක්තරා  අලෙවි සැලක පුද්ගලයෙකු දුරකථනයෙන් රියදුරුට කතා කොට අලවිසැලේ තිබූ
වළලු 02 හා කරාබු 02 සොරාගෙන ඇති බවත්, එය වහාම ලබාදෙන ලෙසත් පවසා තර්ජනය කර තිබුණා.

ඔහු ඒ ගැන මට කීවා. එහිදී මම ඔහුට කීවා වහාම පොලීසියට ගොස් පැමිණිලි කරන්න කියලා. එදිනම ඔහු පැමිණිල්ලාක් දාන්න පොලීසියට ගියා. එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව පොලීසියන් මට දැනුම් දුන්නා කට උත්තරයක් ගන්න එන්න කියලා. ඒ අනුව මම 23 දා නීතීඥයෙකු සමග පොලීසියට ගියා. එහිදී මගෙන් කටඋත්තරයක් අරන් එවන්නම් කියලා නීතීඥතුමාට යන්න කීවා.

 පසුව එදින රාත්‍රී මාව පොලීසියේ තබාගෙන, අත්මාංචු දමා, දිගින් දිගටම රන් භාණ්ඩ සොරකමක් ගැන ප්‍රශ්න කළා. ඒ විදිහට විනාඩි 45ක පමණ පහර දෙමින් ප්‍රශ්න කළා. ඊට පසුව මාව අපරාධ විමර්ශන අංශයේ කාමරයකට රැගෙන ආවා. එහිදීත් දිගින් දිගටම ප්‍රශ්න කළා.

ආපසු මාව පොලීසිය පිටුපසදී පහරදුන් කාමරයට රැගෙන ගියා. එහිදී මගේ අත්දෙක පිටුපසට තබා මාංචු දමා පැය 1/2 පමණ පහර දුන්නා.  ඊට පස්සේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මාව ඌරගහ පොලීසියේ ස්ථානාධිපතිවරයා ළඟට අරගෙන ආවා. එහිදී ඕ.අයි.සී. මට තර්ජනය කළා.

මම කීවා රත්තරං බඩු හොරකමක් කළේ නෑ මාව
නිදහස් කරන්න කියලා.  ඒත් ඕ.අයි.සී අපරාධ අංශයේ ඕ.අයි. සීට කීවා මූව එල්ලලා ගහන්න කියලා. ඒ අනුව නැවත පෙර ස්ථානයට රැගෙන ගොස් අත්මාංචු දමා පැය දෙකක් පමණ අතින් පයින් පහර දුන්නා.  පසේ මේ සිද්ධිය දැනගත් මගේ සේවා ස්ථානයේ හිතවතුන් කිහිපදෙනෙකු නීතීඥයකු සමඟ පොලීසියට ආවා. එහිදී ඕ.අයි.සී. සහ කඩ හිමියන්ද කැඳවා මෙය සමථයකට පත්වෙන්න කතා කළා. එහිදී ගැටලුව විසඳන්න ඕනි නම් රන් බඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 4 කඩ හිමියා ඉල්ලා සිටියා. පසුව ඒ මුදල ලක්ෂ 03 දක්වා අඩුකරගත්තා. ඒ අනුව මුදල් ගෙවීමේ පොරොන්දුව මත පසුගිය 25 වන දින රාත්‍රී 09.00 පමණ මට ඇප දුන්නා.

 පසුව පහරකෑමෙන් අසාධ්‍ය තත්ත්වය නිසා 26 දා උදෑසන නාගොඩ මහ රෝහලට ඇතුළත් වුණා. එහිදී වෛද්‍යවරුන් පරික්ෂණ කළා. 27 වෙනිදා මාව කොළඹ ජාතික රෝහලට මාරුකර යැව්වා.

මේ දක්වා මා නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දැන් මගේ අත් දෙකම උරහිසින් පහළ පණ නැහැ. ඇඟේ හැම තැනම තැලුම් තුවාල, වෛද්‍යවරු කියන්නේ අත් දෙක සුව කරන්න අවුරුද්දු 02 විතර යයි කියලා. අත දෙකට ප්‍රතිකාර එන්නත් කරන්නවත් බෑ. එන්නත් ලබාදෙන්නේ කකුලට.

 මම තව මාස 2 පමණ විවාහ ගිවිසගන්නයි හිටිය. දැන් මම ඉතාම අසරණයි. මේ සිදුවීම නිසා ඌරගහ පොලීසියෙන් මට බරපතළ අසාධාරණයක් සිදුවුණා. මේ ගැන විනිවිදභාවයන් පරිශ්‍රණයක්. ඉටුකර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීනවා."

 මේ පිළිබඳව ඇල්පිටිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී ආර්,එම්.එන්, රත්නායක මහතාගෙන් වීමසීමේදී මෙසේ පැවසීය.

''මේ සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ පැමිණිල්ල විභාග කිරීම පටන්ගෙන තියෙනවා එහි වැඩිවිස්තර දින දෙක තුනක් ඇතුළත දෙන්නම්."



මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න