රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ සිසුන්, ගම්මුන් හා ආරක්ෂක අංශ නිලධාරීන් අතර උද්ගත වී ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් වැල්ලමඩම විශ්වවිද්‍යාල සංකීර්ණයේ මානව ශාස්ත්‍ර හා සමාජීය පීඨය, විද්‍යා පීඨය, කළමනාකරණ හා මූල්‍ය පීඨය, ධිවර හා තාක්ෂණ විද්‍යා පීඨය, පශ්චාත් උපාධි යන පීඨවල
සිසුන්ට වහා ක්‍රියාත්මක වන පරිදි ඊයේ සවස 4.00ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් හා නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස උප කුලපති ජේයෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා නියෝග කළේය. මේ බව දැනුම්දෙමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දැන්වීම්ද ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබිණි.



ඊයේ දහවල් කාලය වන විට සිසුන් පිරිසක් ඉන් ඉවත්ව ගිය අතර පස්වරු වනතෙක් තවත් සිසුන් පිරිසක් එහි රැඳී සිටින ආකාරය දක්නට ලැබිණි. රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ට එරෙහිව ගම්මු ප්‍රහාරයක් එල්ලකර පලා යෑමත් සමඟ සිසුන් සහ ආරක්ෂක අංශ අතර පෙරේදා රාත්‍රි  ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් අට දෙනකු තුවාල ලබා ඇති අතර ආරක්ෂක අංශයේ එක් නිලධාරියකු තුවාල ලබා මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පෙරේදා දහවල් විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නොසන්සුන්කාරී ක්‍රියාකාරකම් වලට එරෙහිව අනධ්‍යයන කාර්ය මණ්ඩලය විරෝධතාවක් සංවිධානය කළ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විරෝධතාවලට විශ්වවිද්‍යාලයේ සිසුන් පහරදීම නිසා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ සිසුන් අතර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ගැටුමක් ඇතිකරගෙන තිබේ. මෙම ගැටුමෙන් පසු පෙරේදා (09දා) රාත්‍රි
හතට පමණ මුහුණු ආවරණය කරගෙන පැමිණි සිවු දෙනෙක් පමණ රුහුණු විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදි යතුරුපැදිවලින් පලාගොස් තිබේ.

මෙලෙස පහර කා ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමඟ ගැටුම් ඇතිකර ගත් සිසුන් පිරිසක් බව විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙන් වාර්තා වේ. මුහුණු වසාගත් පුද්ගලයන් පලාගිය පසු රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් දෙසීයක් පමණ පැමිණ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට පහරදි තිබේ. මෙම ගැටුම අතරතුර ආරක්ෂක අංශයේ නිලධාරීන් වහාම පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට පැමිණි අතර තත්වය පාලනය කර ගැනීමට නොහැකිව යුද හමුදාව කැඳවීය. පසුව පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සේවයෙන් ඉවත් වූ අතර යුද හමුදාව සම්පූර්ණ ආරක්ෂාව ලබාදීම සිදු කළේය.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සිසුන් ආරක්ෂක නිලධාරින්ගේ කුටියටද දැඩි හානි කර තිබේ. පෙරේදා රාත්‍රි කාලයේ සිට උපකුලපතිවරයා ඇතුළු ඇදුරු මඩුල්ලට හැර සෙසු ස්ථානවලට ජලය අවහිර කර ඇති බවත් ඇතැම් වතුරට  මෝටර්වලට සපයන විදුලිය විසන්ධි කර ඇති බවත් විශ්වවිද්‍යාල සේවකයෝ චෝදනා කරති. මේ හේතුවෙන් සිසු සිසුවියන් හය දහසක් පමණ මහත් අසීරුතාවකට පත් වූ බව ශිෂ්‍යයෝ චෝදනා නඟති.

විශේෂයෙන්ම වැසිකිළි පිරිසුදු නොකිරීම, ජලය කප්පාදු කිරීම, විදුලිය විසන්ධි කිරීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් කර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් සේවයෙන් ඉවත්වී ඇතැයි ශිෂ්‍යයෝ චෝදනා කරති. සියලු ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වූ පසු නැවත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වීමට සලකා බලන බවද උපකුලපතිවරයා පැවැසුවේය.

ශිෂ්‍යයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් ආරක්ෂක මුරපළට දැඩි හානි සිදුව ඇතැයි ආරක්ෂක නිලධාරීහු පවසති. ඊයේ (10දා) පස්වරු වනතෙක් යුද හමුදාව විශ්වවිද්‍යාලයට ආරක්ෂාව දෙන අයුරු කැමරාවේ සටහන් විය. සිසුන් චෝදනා කරන්නේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා රජය සිසුන්ට මැර තර්ජන එල්ල කරන බවයි. එහෙත් තම අරගලය ඊට යට නොවි සිදු කරන බවද ශිෂ්‍යයෝ කියති.ගැටුමට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීමට සහ මුහුණු වසාගෙන පැමිණි පුද්ගලයන් හඳුනා ගැනීමට පොලිස් බුද්ධි අංශ විමර්ශන අරඹා ඇත.

-උදය කුමාර රණවිර-