ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1500ක ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ  මාධ්‍ය ප්‍රකාශක සහ සංර්ධන අධ්‍යක්ෂ  සුලක්ෂණ ජයවර්ධන මහතා  ඊයේ (10) පැවැසීය.

ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලංකා  ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 8000කට අධික හිඟ ණය මුදලින් කොටසක් ගෙවිමට රුපියල්  කෝටි 1500ක ණය මුදලක් ලංකා  බැංකුවෙන් ලබා ගන්නා බව ඔහු සඳහන් කළේය.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දී  තිබෙන ණය සීමාව පසුහියදා (08) වනවිට  ඉක්මගොස් තිබූ අතර මේ හේතුවෙන්  ඛණිජ තෙල් සංස්ථාව ලංකා විදුලිබල  මණ්ඩලයට ඉන්ධන ලබාදීම පසුහියදා නවතා දමා තිබිණි.

මේ හේතුවෙන් විදුලිබල ජනනයට බාධා එල්ල වූ අතර ඇතැම් ප්‍රදේශවලට විදුලිය සැපයිම් සීමා කිරීමට ද මණ්ඩලයට සිදුවිය.  හිඟ ණය මුදල ගෙවීම සමිබන්ධයෙන් මතු වූ එකඟතාව මත පෙරේදා (09) දිනයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයට යළි ඉන්ධන දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේය.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදලෙන් කොටසක් ගෙවීමෙන් පවතින අර්බුදය අවසන් කර පාරිභෝහිකයන් වෙත අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව ගිගා වොට් 47කට ආසන්න වී තිබේ.

 මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය විදුලියෙන් සියයට අසූපහක් පමණම තාප විදුලි බලාගාර මහින් ලබා ගැනීමට සිදුව ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.  පවතින වියළි කාලගුණ තත්වය අගෝස්තු මාසය වනතෙක් අඛණ්ඩව පැවතියහොත් දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඔහු පැවසීය.

-නිමල කොඩිතුවක්කු-