පානීය ජලයට අපද්‍රව්‍ය එක් කරන කර්මාන්ත ශාලාවකට එරෙහිව උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශවාසීන් තිදෙනකු වෙඩි තබා මරණයට පත් කර තවත් 33 දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු
අධිචෝදනා 94 ක් යටතේ බි‍්‍රගේඩියර් අනුර දේශපි‍්‍රය ගුණවර්ධන ඇතුළු යුද හමුදා සාමාජිකයන් හතර දෙනකුට එරෙහිව පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේය.

වෙනිග්‍රෝස් නමැති අත්වැසුම් නිෂ්පාදන කර්මාන්ත සමාගමෙන් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය හේතුවෙන් ප‍්‍රදේශයේ ළිංවල පානීය ජලය අපවිත‍්‍ර වී ඇති බැවින් එම කර්මාන්ත ශාලාව වසා දමන ලෙසට බලකරමින් ප‍්‍රදේශවාසීන් විසින් 2013 අගෝස්තු 1 වැනිදා උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර එදින පස්වරු 3.00 ට පමණ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රදේශවාසීන් පිරිසක් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කොට තිබිණි. ඒ අතරතුර යුද හමුදා භටයන් 140 කට ආසන්න ප‍්‍රමාණයක් සමඟ එම ස්ථානයට පැමිණි පළමු විත්තිකාර බි‍්‍රගේඩියර්වරයා ප‍්‍රථමයෙන්ම මාධ්‍යවේදීන් සතුව තිබූ කැමරා උපකරණ සිය භාරයට ගෙන තමන් ආරක්ෂක ලේකම්වරයාගේ පණිවිඩයක් රැගෙන පැමිණි බවත්, වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාව වසා දමන බැවින් උද්ඝෝෂණය නවත්වා විසිරි යන ලෙසත් නියෝග කර ඇත. සාමකාමීව උද්ඝෝෂණයේ නිරතව සිටින තමන්ට විසිර යෑමට පැය 1/2 ක් ලබාදෙන ලෙසට එහි සිටි 5000 - 6000 කට ආසන්න උද්ඝෝෂකයන් බි‍්‍රගේඩියර්වරයාගෙන් ඉල්ලා ඇතත් විනාඩි 10 ක් ඇතුළත විසිර යන ලෙසට හෙතෙම නියෝග කොට ඇත.

ඉන්පසුව බි‍්‍රගේඩියර්වරයා දුරකථන ඇමතුමක් ගැනීමට පසෙකට ගොස් නැවත උද්ඝෝෂකයන් ඉදිරියට පැමිණ විසිරි යන ලෙසට තර්ජනාත්මකව නියෝග කර ඇති අතර උද්ඝෝෂණයේ ඉදිරියෙන් සිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස් මාර්ගය අවහිර වන ලෙස තාවකාලිකව ඉදිකර තිබූ කුඩාරම් ඉවත් කර විසිර යමින් සිටියදී බි‍්‍රගේඩියර් ගුණවර්ධන නිලධාරීන් කණ්ඩායමක් සමඟ උද්ඝෝෂකයන් අතරට යෑමෙන් නොසන්සුන්තාවක් ඇතිව තිබිණි. මෙහිදී ඔවුන් හූ හඬ නඟමින් කෑකෝ ගසමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර එහිදී බි‍්‍රගේඩියර්වරයා තම දකුණු අත ඔසවා වෙඩි තබන ලෙසට නියෝග කරන ලද බව ඇස දුටු සාක්ෂි මගින් අනාවරණය වී ඇත.

බි‍්‍රගේඩියර්වරයාගේ නියෝගය අනුව කි‍්‍රයාත්මක වූ මුහුණු ආවරණය කර ගත් හමුදා භට පිරිස් ඉවක් බවක් නොමැතිව උද්ඝෝෂකයන්ට පමණක් නොව නිරායුධ ප‍්‍රදේශවාසීන්ට, රැකියාවල සිට පැමිණෙමින් සිටි අයට, නිවෙස්වල සිටි සහ දේවස්ථානයක රැඳී සිටි පිරිසට වෙඩි ප‍්‍රහාර එල්ල කරමින් තුවක්කු බට සහ පොලූවලින් දරුණු ලෙස පහරදී තිබිණි. මෙකී වෙඩිතැබීම් හා පහරදීම් බි‍්‍රගේඩියර් ගුණවර්ධනගේ අණ මත ප‍්‍රකෝපව කටයුතු කළ හමුදා භට පිරිස් විසින් සිදු කළ බවට සාක්ෂි මගින් අනාවරණය වීම නිසා හා බි‍්‍රගේඩියර්වරයාගේ කි‍්‍රයා කලාපය හේතුවෙන් දැඩි ගැටලූකාරී තත්වයක් බවට පත්ව ඇතැයි සාක්ෂි මගින් අනාවරණය වීම නිසා ඔහුව එම නඩුවේ ප‍්‍රධාන විත්තිකරු ලෙස නම් කිරීමට පියවර ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය  ප‍්‍රකාශ කළාය.

සිද්ධියට පසු දින යුද හමුදා නිලධාරීන් විසින් පහරදීම් සිදු වූ ප‍්‍රදේශය අධිබලැති ජල විදිනයන් මගින් සෝදා පිරිසිදු කළ බවට ද ප‍්‍රදේශයේ විසිරී තිබූ හිස් ගිනි අවි උණ්ඩ ඒකරාශී කරගෙන ගිය බවට ද සාක්ෂි මගින් අනාවරණය වී තිබිණි. කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් විසින් ප‍්‍රදේශයේ වැටී තිබූ හිස් උණ්ඩ 16 ක් සොයා ගෙන තිබූ අතර ඉන් උණ්ඩ 11 ක් යුද හමුදාවට අයත් ගිනි අවි තුනකින් නිකුත් වූ බවට රස පරීක්ෂකවරයා නිගමනය කර තිබිණි. එකී ගිනිඅවි තුන නිල වශයෙන් නිකුත් කර තිබූ යුද හමුදා නිලධාරීන් වන ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න හා ලලිත් ගේ‍්‍ර යන හමුදා නිලධාරීන් තිදෙනා එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම විත්තිකරුවන් සිවු දෙනා පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව දොන් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා හා නිලන්ත පුෂ්ප කුමාර යන අයගේ මරණ සිදුකිරීම, මිනි මැරීමට තැත් කිරීම සහ තුවාල සිදු කළ බවට ඇස දුටු හා පරිවේෂණිය සාක්ෂි මගින් අනාවරණය වීමෙන් අනතුරුව ඔවුන් සිවුදෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කොට නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කොට තිබිණි.