https://www.gossiplankanews.com/2019/07/rathana-thera-mahinda-ananda-aluthgamage.html
සුගියදා රටේම අවධානය දිනාගනිමින් බදුර්දීන් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි දළදා මාළිගය ඉදිරිපිට උපවාසයක නිරතවූයේ රට ආගම වෙනුවෙන් තමන් අවදානම් පියවරකට යාමට පසුබට නොවන බව දක්වමිනි.
මෙයට සහයෝගය දක්වන්නට මහනුවර නගරය ඇතුළු නගර ගණනාවක
සිංහල බෞද්ධ කඩසාප්පුද වසා දමා නගර මධ්‍යයට එම පිරිස් පැමිණ විරෝධතාවයන්ද දක්වා තිබුණි.
අවසානයේ විරෝධතාවේ ප්‍රතිඵලයක් ලෙස බදුර්දීන් ඇමති පමණක් නොව සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වූ අතර මෙම සිද්ධිය රටේ ආගමික භේදයක සලකුණු පෙන්නුම් කළ බවටද විවේචන පැනනැගුණි.


මෙම ක්‍රියාදාමයට රතන හිමියන් යොමු වූයේ ඒ වනවිටත් පාර්ලිමේන්තුවේ බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් සූදානම් කර තිබූ අවස්ථාවකය.
මෙම සම්පූර්ණ ක්‍රියාදාමය නිසා රතන හිමියන් සිංහලයින් බෞද්ධයින් වෙනුවෙන් වගකීම දරන්නෙකු පෙරට එන්නෙකු ලෙස ප්‍රතිරූපයක්ද ආරෝපණය කර ගන්නා ලදි.
කෙසේ වෙතත් එහි අරමුණු සඵලවූ බව බැලුබැල්මට පෙනී ගියත් උපායශීලී ලෙස මුස්ලිම් ඇමතිවරුන් සියල්ල ඉවත්වීම නිසා බදුර්දීන් පමණක් දෝෂයට ලක්වීම වැළකී ගිය බවටද විචාරකයින් මත පළ කර තිබුණි.
මෙම දේශපාලන සංසිද්ධිය ඊයේ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී යළි කරළියට ආවේය.
මෙම උපවාසය ගැන අතුරලියේ රතන හිමියන් සහ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බව වාර්තාවෙයි.
අතුරලියේ රතන හිමි විසින් ආරම්භකළ මාරාන්තික උපවාසය හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යටපත් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වූ බව  ආනන්ද අලුත්ගමගේ ප‍්‍රකාශකර තිබේ.


ඉන් ප‍්‍රයෝජන ගත් ආණ්ඩුව විශ්වාසභංගය මඟ හැර ගියබවත්, රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තම නිවරදි බව ඔප්පු කිරීමට උත්සාහගත් බවත් මන්ත‍්‍රීවරයා පවසා ඇත.
ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය අනුව සිදුකළ යුතු සුදුසුම ක‍්‍රියාව තමන් කළ බවත් එය හොඳ හිතින් කළ දෙයක් බවත් අතුරලියේ රතන හිමියන් පිළිතුරුදෙද්දී මාරාන්තික උපාවාසය හේතුවෙන් ආණ්ඩුව පරාජය කිරීමට තිබූ අවස්ථාව මඟ හැරුණ බව අලුත්ගමගේ මන්ත‍්‍රීවරයාට අමතරව අනෙක් මන්ත‍්‍රීවරුන්ද උපවාසයට එරෙහිව කරුණු දක්වමින් ගාලගෝටියක ස්වරූපයක් මතුව ඇත.
දිගින් දිගටම ඇදී යන මෙම වාදය නතර කිරීමට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාටද මැදිහත්වීමට සිදුව ඇත.
පසුගිය දේවල් කතා කිරීමෙන් තේරුමක් නැති බවත්, ඉදිරියේදී කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් විපක්‍ෂනායකවරයා පවසා තිබේ.
ඒ සමඟම අතුරලියේ රතන හිමියන් තමන්ගේ කෝපය හා විරෝධය දක්වමින් රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර ඇති අතර එසේ නොකරන ලෙසට විපක්‍ෂනායකවරයා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළත් එය සලකා නැත.
 රතන හිමියන්ගේ උපවාසය ජාතිය ආගම වෙනුවෙන් සිදු කළ එකක්ද නැතිනම් එය දේශපාලනිකද? යන ගැටලුව ඊයේ සිදුවීම් සමග නැවත කථාබහක් මතුකර තිබේ.