රක්වාන රජවත්ත ප්‍රදේශයේදි දෙපිරිසක් අතර සිදුවූ ආරවුලක් දුරදිග ගොස් එක් පුද්ගලයකුගේ දිවෙන් කොටසක් අනෙකා විසින් වේගවත්ව සපා කා ඇති බවත් තිදෙනෙක් පිහි පහර වැදීමෙන් තුවාල ලබා පසුගිය 16දා දින රෝහල් ගත කළ බවත් දිව සපා කෑ පුද්ගලයා ඉකුත්දා (17දා) රජවත්ත ප්‍රදේශයේදි සැකපිට
අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි. තුවාලකරුවන් දෙදෙනෙක් පොතුපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවිම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවත් අනෙක් තුවාලකරුවන් දෙදෙනා කහවන්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්
පොලිසිය කියයි.

සපා කෑවා යැයි කියන දිවෙහි කොටස සොයා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකළද එය සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි. දිව සපා කෑවා යැයි කියන පනස් අට හැවිරිදි පුද්ගලයා රජවත්ත ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු විසින් තුවාලකරුගේ දිව සපා වෙන් වූ කොටස ගිල දමන්නට ඇතැයි සැකකරන බව පොලිසිය කියයි.

දිව එළියට දමාගෙන තමන්ට පන්නා පිහියකින් කෙටීමට සූදානම් වෙද්දී එම පුද්ගලයාගේ දිව සපා කා කොටසක් කටට කඩා ගත් බවත් කඩාගත් කොටසට කුමක් සිදු වූවේදැයි තමාට මතක නැති බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරිමේදී පැවැසූ බව පොලිසිය කියයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ රජවත්ත ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි දෙදරු පියෙකි. පානීය ජල ප්‍රශ්නයක් මුල්කරගෙන එම ආරවුල සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

-සිසිර පීල්ලදෙණිය-