ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉෂා මහතා පැමිණි හෙලිකොප්ටරය මැණික්හින්න  යූ.පී.වයි. ජිනදාස ක්‍රීඩාංගණයට ගොඩබාන අවස්ථාවේ ඇති වූ අධික
සුළං තත්වය හේතුවෙන් ඊයේ (30) උදේ අවට නිවාස කිහිපයක වහලය සෙවිලි කර තිබූ සෙවිලි තහඩු ගැලවී යාමෙන් නිවාසවලට හානි සිදුවී ඇති බව නිවැසියෝ පවසති.

ෂෙයික් මහතා මැණික්හින්නේ විද්‍යාසාගර පිරිවෙනේ වැඩ විසූ නාපානේ පේමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන්
බැහැදැකීම සඳහා ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටර් යානයකින් මැණික්හින්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ හෙලිකොප්ටරය ගොඩබැමේ දී මෙම සිද්ධිය වී තිබේ.

මෙම සිද්ධියෙන් පසුව ස්ථානය පරික්ෂාවට පැමිණි මහනුවර මස්ජීඩ් සම්මේලනයේ සභාපති එම්. සිද්ධික් මහතා හෙලිකොප්ටර් යානාව ගොඩබාන අවස්ථාවේ හානි වූ ක්‍රීඩාංගණය අවට තිබූ නිවාස පිළිසකර කරදෙන බව නිවාස හිමියන්ට දන්වා තිබේ.

හානි වූ නිවාසවල හිමිකරුවෝ තමන්ගේ නිවාස පිළිසකර කර දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.  මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර මහතාගේ උපදෙස් පරිදි මැණික්හින්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ජේ.ඒ.එල්. ජයසිංහ)