මතුගම පොලිස් වසමට අයත් අගලවත්ත හෑළඹ දී පසුගිය මස 28 වැනිදා කරන්නාගොඩ මුදලිගේ මනෝජ් කුමාර ජයතිලක යන සමෘද්ධි සංවර්ධන නිලධාරියා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන පාතාල නායක ‘සමයන්ගේ’ ප‍්‍රධාන ගෝලයකු වන ‘නේවි ආටිගල’ නමැත්තා
(40) ජීව අත් බෝම්බයක් සමග කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය විසින් පෙරේදා (23දා) අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය මාකොළ ප‍්‍රදේශයේ සැඟවී සිටි මෙම සැකකරු පාතාල නායක ‘සමයන්’ සමග එකතුවී පාතාල ක‍්‍රියාවල නිරතවී ඇති අතර මෙම සැකකරුට එරෙහිව මිනී මැරුම්
4කට චෝදනා තිබෙයි. මොහු ඉදිරියේ තවත් මිනී මැරුම් 4ක් සිදුකිරීමට සැලසුම් සකස් කරමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සැකකරු ඝාතනය කළ බවට සැකකරන අගලවත්ත හෑළඹ පදිංචිව සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියා මෙම සැකකරුගේ

නැන්දනියගේ පුතා වන අතර ඔවුන් අතර කාලයක සිට තිබූ ඉඩම් ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණයේදී හෙළිවී ඇත. මෙම ඝාතනයට උපයෝගී කරගත් බවට සැක කරන මන්නා පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, මතුගම කොට්ඨාස 1 භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ යන මහත්වරුන්ගේ

උපදෙස් අනුව කළුතර කොට්ඨාස නීතිය බළගැන්වීමේ ඒකකයේ නිලධාරීහු කැලණිය මාකොළ ප‍්‍රදේශයේ දින 13 ක් තිස්සේ මෙහෙයුමක් කර සැකකරු අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් ‘නේවි ආටිගල’ නම් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මතුගම පොලිසියට භාරදී ඇත.

මහිලාල් පද්මසූරිය - අගලවත්ත