බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්තාසා ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ඒ, ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙනි.

එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා

බංග්ලාදේශ කණ්ඩායම අද දිවයිනට පැමිණෙන අතර ඒ සදහා ඔවුන් ඊයේ සිය අවසන් පුහුණු සැසියට එක්විය.

බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්තාසා ආබාධයට ලක් වී ඇත්තේ එම පුහුණුවීම්වල නිරත වෙමින් සිටියදී ය.

ඔහු යථා තත්ත්වයට පත් වීමට සති 4කට ආසන්න කාලයක් ගතවනු ඇති බවට වාර්තා වේ.

ඒ, අනුව ශ්‍රී ලංකා තරග සංචාරයේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තමීම් ඉක්බාල්ටයි.

මොර්තාසා වෙනුවට ෆර්හාඩ් රෙසා කණ්ඩායමට කැඳවා තිබේ.

මේ අතර ආබාධයකට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් සයිෆුඩීන් ද බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කර තිබේ.

ඔහු වෙනුවට ටස්කින් අහමඩ්ට සංචිතයට කැඳවා තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශකීබ් අල් හසන් සහ ලිටන් ඩාස් පුද්ගලික හේතු මත තරගාවලියෙන් ඉවත් විය.

එක්දින ජාත්‍යන්තර තරග 3කින් සමන්විත තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වන අතර තරගාවලියේ සියලු තරග කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිත ය.

මේ අතර තරගාවලියට පෙර පෙරහුරු තරගයක් ලබන 23 වැනිදා කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.