බෝතල් තුළට යම් යම් පණිවිඩ දමා ඒවා මුහුදේ පාකර හරින සිරිතක් එක්තරා කාලයක ලෝකයේ බහුලව පැවතිණි. එම පණිවිඩ පසුකලෙක අහුලාගන්නා අයට ඇතැම්විට විවිධ අමුතු දේ දැනගන්නට ලැබේ.

පසුගිය සතියේ ඕස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් නුවර වාසය කරන 9 හැවිරිදි Jyah නමැති දරුවෙකුට ටලියා මහුදු වෙරළෙහිතිබී පණිවිඩයක් සහිත බෝතලයක් අහුලාගන්නට හැකි විය. එම බෝතලයේ කට කඩා ලියමන ලබාගන්නට අපහසු නිසා බෝතලය බිඳ දමා ලියමන කියවන්නට ඔහු උත්සාහ කළේය.
පුදුමයට මෙන් එහි අකුරු පැහිදිලිව හඳුනාගන්නට හැකියාව තිබිණි. 1969 ලියා තිබූ වසර 50 ක් පැරණි ලියමනක් එහි තිබුණි. ලියුම ලියා තිබුනේ 13 හැවිරිදි Paul Gilmore නමැත්තෙකි. ඔහු එංගලන්තයේ සිට ඕස්ට්‍රෙලියාවට සංක්‍රමණය වෙමින් සිටි නැවකදී මෙම පණිවිඩය මුහුදට දැමූ බවත් මෙය හමුවුණොත් පිළිතුරක් එවන්න ලෙසත් එහි සටහනක් තිබුණි.
මේ ගැන සොයා බැලූ ඕස්ට්‍රෙලියානු ඒබීසී ගුවන් විදුලිය මෙම ලියමන ලියූ පුද්ගලයා දැන් නැවියෙකු බවත් ඔහු බොල්ටික් මුහුදේ යාත්‍රාවක සේවය කරන බවත් සොයාගෙන තිබුණි.