හේනානිගල ආදිවාසී ජනතාවට ජීවත් වීමට කිසිදු ආදායමක් නොමැතිකම නිසා කැඳ බීමටවත් හාල් ගන්න මී පැණි ගෙන අලෙවි කර ගැනීමට පොළොන්නරුවට පැමිණි බව හේනානිගල ආදිවාසී නායක ඌරුවරිගේ මුතුබණ්ඩා කියයි. ආදිවාසී නායකයා මෙසේද කීය.

“එදා අපි කැලේට ගිහිල්ලා දඩයමක් කරගෙන හේනක් කරගෙන ජීවත් වුණා. අද අපිට කැලේ යන්න දෙන්නේ නෑ, හේනක් කරන්න දෙන්නේ නෑ. ජීවත් වෙන්න විදියක් නෑ, අපි සත්තු මැරුවේ විකුණන්න නොවේ. අපේ වුවමනාවට විතරයි. අද අපිට කැලේට යන්න බැහැ.

දේශපාලන
මහ හූරෝ සහ වනජීවී හූරෝ කැල කපනවා, සත්තු මරනවා ඉවරයක් නෑ. අපි කැලේට ගියොත් උසාවි අරන් ගිහින් දඩ ගහනවා. මේ නිසා දැන් අපේ ගම්මානවල කැකුළො කැකුළියෝ කවුරුත් නෑ, ඒ අය ඔකොම කොළඹ රස්සා හොයාගෙන ගිහිල්ලා. වයසක අය විතරයි ගමේ ඉන්නේ, ගමෙන් පිට ගියපු කැකුළියො කැකුළෝ බැඳලා වෙනත් පළාත්වලට ගිහිල්ලා.

ඒ අය වැද්දෝ කියලා දැනගයි කියලා අම්මා - තාත්තා බලන්න ගමට එන්නෙත් නෑ. ඒ නිසා අපිට දැන් ජීවත් වෙන්න විදියක් නෑ. රජයෙත් අපිට කිසිම සහනයක් නෑ. වහින්නේ නැතුව හේන් කරන්නත් බෑ බඩගින්නේ මැරෙන්න බැරී නිසා බැරිම තැන තමයි මේ මී පැණි ටිකක් බැරි බැරි ගානේ කැලේ ගිහින් මීවදයක් කඩලා පැණි ටිකක් අරගෙන පොළොන්නරු ආවේ.

කැඳ බොන්න හරි හාල් ටිකක් ගන්න සල්ලි කීයක් හරි හොයා ගන්න. ඒකටත් එන්න යන්න විතරක් රුපියල් 400ක් විතර යනවා. මේ රටේ මුල් අයිතිකාරයෝ වෙච්චි අපිට දැන් ජීවත් වන විදියක් නෑ. ලෝකේ වෙනස් වුණට මිනිස්සු වෙනස් වුනටඅපි ආපේ වර්ගයා පාවලා දන්නෙත් නෑ. අපි මැරෙන තුරා මේ විදියටම ඉන්නවා" යැයි පැවසූ මුතුබණ්ඩා ආදිවාසීන්ට ජිවත් විය හැකි පරිසරයක් හදා දෙන්න කියලා මහ උන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි කීය.

-හිඟුරක්ගොඩ ප්‍රියා-