කොළඹ ජාතික රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම රෝහලේ ගෙවන වාට්ටුවකට (Merchant Ward) ඊයේ (4)
පෙරවරුවේ ඇතුළත් කරනු ලැබීය.

හේමසිරි ප්‍රනාන්දු මහතා බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් ආරක්ෂා යටතේ ගිලන් රථයකින් රැගෙන ගොස් අංක 15 දරන ගෙවන වාට්ටුවේ අට වැනි කාමරයට මෙසේ ඇතුළත් කෙරුණු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හේමසිරි ප්‍රනාන්දු මහතා බන්ධනාගාර  හෘද ප්‍රතිකාර
ඒකකයෙන් ගෙවන  වාට්ටුවකට රැගෙන යන ලද්දේ ඊයේ පෙරවරු 10.25ට පමණය.

කොළඹ ජාතික රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි හේමසිරී ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව කොළඹ ජාතික රෝහලට ගිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හේමසිරි ප්‍රනාන්දු මහතාගේ යෞඛ්‍ය තත්වය පිළිබඳව යොයා බැලීමෙන් පසු රීමාන්ඩ් බන්ධනාගාර ගත කළාය.

හේමසිරි ප්‍රනාන්දු මහතා අධිකරණයට ලබන 9 වැනිදා යළි ඉදිරිපත් කිරීමට නියමිතය.

ආරක්ෂක ලේකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ
සිටින්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැර වීමෙන් සාපරාධි මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව හේමසිරී ප්‍රනාන්දු මහතා ආරකෂක, අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා ඉල්ලා අස්විය.

ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවටද ඉකුත්දා පැමිණ සාක්‍ෂි දුන්නේය.

-සුජිත් හේවාජුලිගේ-