කුණු ආනයනයට මග පෑදුණේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි වේ. කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවසෙන කුණු කන්ටෙනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ.



 2013.7.11 දිනැති 1818/30 දරන විශේෂ ගැසට් පත්‍රයෙන් හා එම ගැසට් පත්‍රය අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රේගු ප්‍රධානීන්ට යවන ලද ලිපිය මගින් ඒ බව අනාවරණය වේ. මේ ගැසට් පත්‍රය මගින් ආනයනය හා අපනයන  සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි නිබල කිරීමක් සිදු වේ. ඒ අනුව විනිමය පාලන පනත, රේගු ආඥා පනත හා ආනයන අපනයන පාලන අණපනත් ඉක්මවා ක්‍රියා කළ හැකිය.

2013 ජූලි මස 11 වැනි දින මුදල් හා ක්‍රම සම්පාදන ඇමති මහින්ද රාජපක්ෂ විසින් මුදල් අමාත්‍යාංශයට නිකුත්  කර ඇති මෙම ගැසට් පත්‍රයෙහි ඇතුළත් කරුණු අනුව යමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2013.08.13 දිනැති ලිපිය මඟින් finance act no. 12 of 2012(finance act commercial hub regulation no.1 of 2013 ශීර්ෂය යටතේ රේගු දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

මේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වන රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක, කුණු  ආනයනයට පමණක් නොව ගම්මිරිස් ප්‍රතිඅපනයනයටද බලපා ඇති විනාශකාරි පනතක් වන මෙය අහෝසි කළ යුතු බව පවසයි. ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය ගැටලුවත්ව ඇති මොහොතක එතෙරින් කුණු ගෙන්වීමේ ජාවාරම මෙන්ම දේශීය ගම්මිරිස් ගොවීන්ට තර්ජනයක්ව පවතින වියට්නාමයෙන් ගෙන්වන ගම්මිරිස් ලංකාවේ ගම්මිරිස් ලෙස ප්‍රතිඅපනයනය කිරීමද බරපතළ වරදක් බව තම අනන්‍යතාව හෙළි නොකළ රේගු නිලධාරියෙක් පැවසීය.