පාස්කු දා ප්‍රහාරය හේතුවෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට ආදායම අඩුවී ඇති හෙයින් සතුන්ට ආහාර හිඟයක් පවතින බව පවසා සතුන්ට ආහාර ලබාදීමට මුදල් අවශ්‍ය බව සඳහන් කරමින් බස්රථවල මුදල් ගරන
ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මෙනෙවිය පැවසුවාය.

එපමණක් නොව සමහර සමාජ මාධ්‍ය ජාලාවලද එවැනි ප්‍රචාර දිගින් දිගටම ගෙන යන බවත් ඇය සඳහන් කළාය.

මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙනයමින් අහිංසක ජනතාවගෙන් මුදල් ගරන පුද්ගලයන්ට නොරැවටෙන ලෙසද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වසර 10කට අධික කාලයකට සත්ත්වෝද්‍යානයේ ජීවත්වන සතුන් සඳහා ආහාර ලබාදීමට අවශ්‍ය මුදල් හිඟයකින් තොරව ඇති බවත් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂවරිය අද සතුන්වත්ත පිළිබඳව විවේචනය කිරීම නවීන විලාසිතාවක් වී ඇති බවත් කීය.

කැලෑ එළිපෙහෙළි කිරීම, වෙනත් පරීක්ෂණ කටයුතු සඳහා සතුන් උපයෝගී කර ගැනීම වැනි ක්‍රියා හේතුවෙන් විශාල සතුන් ප්‍රමාණයක් මිහි මතින් විනාශ වී යයි. මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව සලකා බැලීමේදී ලෝකයේ සතුන් විශාල ප්‍රමාණයක් ආරක්ෂා වී ඇත්තේ සත්ත්වෝද්‍යානය නිර්මාණ කිරීමෙනුයි.

වසර ආරම්භ වීමත් සමඟ ටෙන්ඩර් කැඳවීමෙන් සතුන්ට ලබාදෙන ආහාර පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් සාදා ගනු ලබනවා. ඒ අනුව දිනපතා හරියාකාරව ආහාර ලැබෙන පරිදි විශාල ටෙන්ඩර්කරුවන් ප්‍රමාණයක් බඳවා ගනු ලබනවා. විශ්ව විද්‍යාලවල සිටින විශේෂඥයන්ගේත් පෝෂණ නිලධාරීන්ගේත් පශු වෛද්‍යවරුන්ගේත් අධීක්ෂණය යටතේ පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේල් මෙහි සිටින සතුන්ට ලබා දෙනවා.

සමහර සතුන්ට නිතරම ආහාර ලබාදීමට අවශ්‍යයි. සමහර සතුන්ට ආහාර අවශ්‍ය වේලාවලදී පමණක් ලබාදෙනවා. මෙවැනි විශාල වගකීමක් සහ කැපවීමකින් එහි සිටින ඒ ඒ සේවාවලට අදාළ නිලධාරීන් සතුන්ට ආහාර ලබාදීම සිදු කරද්දී වංචනිකයන් විසින් සතුන්වත්ත බිල්ලට දෙමින් මුදල් ගරා ගැනීම යුක්ති ගරුක නොවන බවද දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනෝමා පෙරේරා මහත්මීහු කියා සිටියහ.

ඡායාරූප- ගයාන් පුෂ්පික