රුපියල් මිලියන 15 වටිනා එට්ටසි වර්ගයේ මත්පෙති තොගයක් පෘතුගාලයේ සිට තැපැල් මගින් මෙරට ශ්‍රී ලාංකිකයකුට එවා තිබූ පාර්සලයක් තුල තිබී ඊයේ දහවල් මධ්‍ය තැපැල් හුවමාරුවේදී බාර ගැනීමට පැමිණි
පුද්ගලයා සමගින් මත්පෙති තොගය රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පෙති තොගයේ එට්ටසි වර්ගයේ මත්පෙති 3050ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.

පෘතුගාලයේ සිට මෙරට මධ්‍ය තැපැල් හුවමාරුවට එවූ පාර්සලය පිළිබද සැකසිතී එම පාර්සලය දිහා බලද්දී කාඩ් බෝඩ්වලින් අසුරා තිබූ මෙම මත්පෙති තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ නමට මෙම මත්පෙති පාර්සලය එවාතිබූ අතර අදාළ පුද්ගලයා පාර්සලය ලබා ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාර දුන් බවද සුනිල් ජයරත්න මහතා පවසයි.