පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පැය නවයක කාලයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්
ගුණසේකර මහතා සඳහන් කරයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙම ප්‍රකාශය පෙරේදා (15දා) ලබාදී තිබේ.

පෙරවරු 10.00ට එම දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු ප්‍රකාශ ලබාදිමෙන් අනතුරුව රාත්‍රි 7.00ට පිටත්ව ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පසුගියදා හදවත් රෝගයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ප්‍රතිකාර ලැබිය. රෝහල්ගතව සිටියදීම පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හේමසිරි ප්‍රනාන්දු මහතාට පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඇප ලබා දුන්නාය.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයෙන් ඇප නියම වූ ඔවුනට පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය පසුගියදා නියෝග කළාය.

-චාමර අමරසුරිය-