ශ්‍රී ලංකා යුදහමුදා විශේෂ කාර්ය බළකායේ පුහුණුව අවසන් කර අද දින සේවයට වාර්තා කිරීමට සිටි හමුදා නිලධාරියකුට පෙරේදා (2දා) රාත්‍රී යම්කිසි පුද්ගලයෙක් පොල්ලකින් පහරදී ඝාතනය කොට ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලැබූ මාවනැල්ල පොලිස් වසමේ දුනුගමුව, මාලියද්ද ලිපිනයේ පදිංචිව සිටි හොරතල් පේඩිගේ
රොෂාන් සෝමතිස්ස නමැති 23 හැවිරිදි තරුණයෙකි.

ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයා ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බළකායට බැදී පොළොන්නරුව මාදුරුඔය ආධුනික සෙබළුන් පුහුණු කිරීමේ කඳවුරේදී වසරකට වැඩි කාලයක් පුහුණුව ඉකුත්දා අවසන් කර මාවනැල්ලේ මාලියද්ද නිවෙසට පැමිණ තිබිණි.

මෙම තරුණයා සිය ග්‍රාමයේම තරුණියක් සමඟ කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇති බව පොලිසිය කියයි. නිවසට පැමිණ සිටි මෙම තරුණයා අද (04දා) ආපසු ප්‍රථම වතාවට රැකියාවට වාර්තා කිරීමට නියමිතව තිබිණි.  පෙරේදා (2දා) ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ මෙම තරුණයාද රැකියාවට වාර්තා කිරීමට මත්තෙන්  මත්පැන් පානය කර තිබිණි.

පිරිස මත්පැන් පානය කරන අවස්ථාවේදී පෙම්වතියග්  දුරකථනයෙන් අවස්ථා කිහිපයකදීම  එස්.එම්.එස් ඇමතුම් ලබා දෙමින් දන්වා ඇත්තේ නිවසේ කිසිවකු නොමැති බවත් නිවසට පැමිණෙන ලෙසද දන්වා ඇත. පසුව තරුණයා සිය පෙම්වතිය බැලීම සඳහා ත්‍රිරෝද රථයකින් සෙසු තරුණයන් දෙදෙනකු සමඟ ගොස්  කුඹුර මැද පාරේ ත්‍රිරෝද රථ නවතා දමා ඔහු පමණක් පයින්ම පෙම්වතියගේ නිවෙසට යන අවස්ථාවේදීම මඟරැක සිට යම්කිසි පුද්ගලයන් දෙදෙනකු පොල්ලක් ගෙන පසුපස එළවා ඇත.

පසුව තරුණයා වගා කර නොමැති මඩ කුඹුරකට පැන දුවන අවස්ථාවේදී පන්නාගෙන ආවා යැයි කියන පුද්ගලයෙක් විසින් හිසට පහරදී බරපතළ තුවාල සිදුකර පලා ගොස් තිබිණි. පසුව තරුණයාගේ විලාප හඬ ඇසී ඔහුත් සමඟ ගිය තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයෙක් ප්‍රදේශවාසීන් හා එක්ව මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබිණි. අනෙක් තරුණයා මාවනැල්ල පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබිණි.

පහරකෑ පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23දා) අලුයම මියගොස් තිබිණි. මියගොස් සිටින තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03දා) කෑගල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. පෙම්වතියගේ යැයි කියන නිවෙසේ පිරිස සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.

-චමිනද ජයලත්-