ඊසානදිග නයිජීරියාවේ අවමංගල්‍ය උත්සවයකට බොකෝ හරාම්  ත්‍රස්තයින් එල්ල කළ බවට සැක කෙරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.
සෙනසුරාදා මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බෝර්නෝ ප්‍රාන්ත අගනුවර වන මයිදුගුරි අසල එන්ගන්සායි
දිස්ත්‍රික්කයේ භූමදානයකදී බව පළාත් පාලන සභාපති මුහම්මද් බුලමා මහතා පැවසීය.
සුසාන භූමියේදී පුද්ගලයින් 21 දෙනෙකු මුලින් මිය ගොස් තිබූ අතර පහර දුන් අය පසුපස ගම්වැසියන් දුවද්දී තවත් 44 දෙනෙකු මිය ගිය බව වාර්තා විය.

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන්ගෙන් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.

බොකෝ හරාම් සටන්කාමීන් පසුගිය දශකය පුරා නයිජීරියාවේ උතුරු ප්‍රාන්තවල වාසය කර ඇත. බහුතර මුස්ලිම් උතුර සහ වැඩි වශයෙන් ක්‍රිස්තියානි දකුණ අතර බෙදී ඇති අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට පුරා ෂරියා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ත්‍රස්ත කණ්ඩායම පවසයි.
මෙම කණ්ඩායම පල්ලි වලට බෝම්බ දමා ඇත; කාන්තාවන් සහ ළමුන් මෙන්ම දේශපාලනඥයන් සහ ආගමික නායකයන් ඝාතනය කිරීමච සිදු කරයි.
ජනවාරියේදී, උත්සන්න වූ මෙම ප්‍රචණ්ඩත්වය නිසා නයිජීරියානුවන් 30,000 ක් දෙදිනක් තුළ රටින් පලා යාමට හේතුකරවූ  බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.