රියදුරු බලපත්‍රයක් නොමැතිව, බීමතින් ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගෙන වෑන් රථයක් පැදවීමේ චෝදනා වලට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම්
ට්‍රොස්කි මහතා විසින් රුපියල් 52500/- ක දඩ මුදලක්
ගෙවන ලෙස ඊයේ (09) නියෝග කළේය.
මෙසේ වරදකරු වූයේ, මස්කෙළිය නගරයේ පදිංචි පරමජෝති සරවණ   නැමති අයෙකි.
බීමතින්, රියදුරු බල පත්‍රයක් නොමැතිව රිය පැදවීම යන චෝදනා දෙකට පිළිවෙලින් රුපියල් 25,000/- බැගින් රුපියල් 50,000/- ක් හා ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට රුපියල් 2500/- වශයෙන් රුපියල් 52,500/- ක දඩ මුදල විනිසුරුවරයා විසින් මෙහිදී නියම කර ඇත.
චූදිත තවත් පිරිසක් සමග මස්කෙළිය ප්‍රදේශයේ  සිට නල්ලතන්නිය දක්වා මෙම වෑන් රථය පදවමින් සිටියදී  නල්ලතන්නිය, මුල්ගම මන්සන්ධියේදී පොලිස් නිලධාරීන් විසින් පෙරේදා (08) පස්වරුවේ සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. චූදිතට අයත් නොවන මෙම වෑන් රථය අයිතිකරුට බාර දීමට පියවර ගත් බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත උ.පො.ප රත්නායක පොලිස් කොස්තාපල්වරුන් වන  කැළුම් (84645), කුමාර (77876), සිවරූබන් (33828) යන නිලධාරීහූ මෙම වැටලීම සිදු කර චූදිත අධිකරණය හමුවට පමුණුවා තිබුණි

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)