කුරුණෑගල රෝහලේ මවුවරුන් පිරිසකට සිසේරියන් සැත්කම් අතරතුර පැලෝපීය නාලයට හානියක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ලබන 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් දිසානායක මහතා ඊයේ
නියෝග කළේය. සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි වේය යන කරුණ මතත්, ඇප ලබාදුන්හොත් මහජන කැලඹීමක් ඇතිවේය යන කරුණ මතත් ඇප ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා වෛද්‍ය සාෆි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කළේය.

තවද කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සිදුකෙරුණු සිසේරියන් සැත්කම්වලින් වඳභාවයට පත්වූ බවට සැක කෙරෙන කාන්තාවන් සඳහා සිදු කිරිමට අවසර ඉල්ලූ එස්.එච්.ජී. නමැති වෛද්‍ය පරීක්‍ෂණය තවදුරටත් අත්හිටුවීමට මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. ඒ පිළිබඳ නිවැරැදි පරික්ෂණයක් කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාල පීඨයේ පස්දෙනකුට නොඅඩු විද්වත් මඩුල්ලක උපදෙස් මත
මේ පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කුරුණෑගල පොලිස් අධිකාරිවරයාගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණ. තවද සැකකාර සාෆිගේ දේපළ සම්බන්ධයෙන් රජයේ තක්සේරුකරුගෙන් වාර්තාවක් කැඳවා ඒ පිළිබඳ නිවැරැදි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එමෙන්ම වෛද්‍ය සාෆි පිළිබඳ කළ විමර්ශනවලට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාකළ නොහැකි බැවින් ආරක්‍ෂක ලේකම්වරයාට ඒ බව දැනුම් දි ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ලද නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්‍යවරයා පිළිබඳ ලබාගත් රැඳවුම් නියෝගය පෙරේදා දින ඉවත් කරගත් බව අධිකරණයට කරුණු දක්වා සිටියේය.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඊයේ දින අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ යුතුව තිබුණේ අද නොවෙයි පළමු නඩුවාරයේ පටන් බව මහෙස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර සිටියේය.

ඉකුත් අධිකරණ දින නියෝග ප්‍රකාරව ජුනි 27 සිට ජූලි 10 වැනි දින දක්වා කාලය තුළ සිදුකරන ලද විමර්ශන ‘බී’ වාර්තාවක් මඟින් ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශන සිදුකිරිම අවශ්‍ය නොවන බැවින් වෛද්‍ය සාෆි පිළිබඳව ඔහුගේ දේපළ උපයාගත් ආකාරය පිළිබඳව, මුදල් විශුද්ධිකරණ පනතේ 3 වැනි වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

-හංසි නානායක්කාර-