අත්අඩංගුවට ගැනීමට යන බව සැලවීමෙන් පසු රෝහල් ගතවූ පොලිස්පති පූජිත් ජයසුන්දර
හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද රහස් පොලිසියට වාර්තා නොකළ නමුත් ඔවුන් සම්බන්ධ කාරණාව උසාවියේදී විභාග කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට හා 1 දිනක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට
අද (2) සවස නියම විය.
කෙසේ වෙතත් පැය 24 ක රක්ෂිත බන්ධනාගාර ගතවීම ඔවුන්ට රෝහල් සයනයේදී ගෙවා දැමීමට පහසුකම් සැලසී තිබේ.
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත්
ඒ අනුව පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් බවත්, හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.