දිවයින පුරා අවුරුදු 18 අඩු දරුවන් එක්ලක්ෂ පහළොස් දහසකට (115,000) ආසන්න පිරිසක් හෙරොයින්, ගංජා, දුම්වැටි, මධ්‍යසාර ඇතුළු විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැයි සමීක්ෂණයකිහෙළිදරවූ බව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික සහාවේ උපදේශක වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය, අන්තරායකර
ඖෂධ පාලක ජාතික මණ්ඩලය
සහ පොලිසිය එක්ව සිදු කරන ලද මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18 අඩු දරුවන් 6,100ක් හෙරොයින් සඳහා ඇබ්බැහි වී ඇති අතර ගංජා සඳහා දරුවන් 3,000ක්, මත්පෙති සඳහා දරුවන් 5,000ක් ඇබ්බැහි වී ඇතැයි හෙළි වී තිබේ. එසේම දිවයින පුරා පුද්ගලයන් 100,000 ආසන්න පිරිසක් හෙරොයින්වලට ඇබ්බැහි වී ඇති බවද එහිදී අනාවරණය වී ඇත.


එම පිරිස අතුරින් 1,500ක් පමණ කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 90,000කට ආසන්න වේ. තවද 300,000කට ආසන්න පිරිසක් ගංජා භාවිත කරන බවට මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ. ඒ අතර කාන්තාවන් 1,500ක් සහ පිරිමි පුද්ගලයන් 296,000කි. තවද වෙනත් ඖෂධීය මත්පෙති සඳහා කාන්තාවන් 500ක් පමණ සහ පිරිමි පුද්ගලයන් 23,000ක් පමණ අබ්බැහි වී සිටින බවට අනාවරණය වී ඇත. එමෙන්ම සිගරට් භාවිත  කරන පුද්ගලයන් විසි හතර ලක්ෂයක් (2,400,000) ලංකාවේ සිටින අතර මධ්‍යසාර හෙවත් ඇල්කොහොල් භාවිත කරන පුද්ගලයන් තිස් ලක්ෂයක් (3,000,000) පමණ සිටින බවද අනාවරණය වී තිබේ.

පළාත් වශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය සදහා වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇති පළාත වන්නේ බස්නාහිර පළාතය. එම සංඛ්‍යාව පුද්ගලයන් 62,52කි. දකුණු පළාතේ 7,966ක්, වයඹ පළාතේ 6,388ක්, මධ්‍යම පළාතේ 4,181ක්, සබරගමුව පළාතේ 4,756ක්, උතුරු මැද පළාතේ 3,509ක්, උතුරු පළාතේ 358ක්, නැගෙනහිර පළාතේ 689ක් සහ ඌව පළාතේ 687ක් හෙරෝයින්වලට ඇබ්බැහි වී තිබේ. මෙම සමීක්ෂණයේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාරදුන් බව සමන්ත කුමාර කිතලවාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

-සුමන උදයන්ත-