වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වැරැදිකරු වූ
හිමිනමකට සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා වසර එකොළහක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක් නියම කර වින්දිත දැරියට රුපියල් ලක්ෂයයක මුදලක් ගෙවන ලෙසට ඊයේ (17දා) නියෝග කළේය.මෙලෙස සිරදඬුවම් හා වන්දි මුදල් ගෙවීමට සිදුවූයේ කෑගල්ල ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථානයක වැඩසිටි 36 හැවිරිදි උප ගුරු හිමිනමකටය.

විත්තිකාර හිමිනම විහාරස්ථානයේ වැඩසිටියදි විහාරස්ථ දහම් පාසලට පැමිණෙමින් සිටි විහාරස්ථ දායක පවුලක 9වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ගැහැනු දරුවකු සමඟ සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇයට දිනක් පාසල නිමවී නිවෙසට පැමිණෙන අවස්ථාවේදී මේ හිමිනම ජංගම දුරකථනයක් ලබාදී තිබිණි.

එම ජංගම දුරකථනයට අවස්ථා කීපයකදී හිමිනම ඇමැතුම් ලබාගෙන ඇති අතර 2010 අගෝස්තු මස 23 වැනි දින දැරිය පාසල් ගොස් නිවෙසට පැමිණෙන අවස්ථාවේදී හිමිනම ප්‍රකාශ කර ඇත්තේ එදින රාත්‍රි තමා නිවෙසට පැමිණෙන බවය.

දැරිය පවුලේ එකම ගැහැනු දරුවා වන අතර ඇය නිදා ගන්නා කාමරයේ ජනේලයේ ජනෙල් පියනක් නොමැති අතර  එම ජනෙල් පියන වෙනුවට රෙදි කැබැල්ලක් එල්ලා ඇත. පසුව හිමිනම දැරියගේ නිවෙසට ගොස් ජනේලයෙන් දැරිය එළියට ගෙන විහාරස්ථානයේ ධර්ම ශාලාවට මධ්‍යම රාත්‍රියේම රැගෙන ගොස් දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර තිබිණි. පසුව මව රාත්‍රියේ සිය දියණිය නිවෙසේ නොමැති බවට සැමියාට දැන්වීමෙන් පසු පියා වැඩිමහල් පිරිමි දරුවා සමඟ විහාරස්ථානයට යන අවස්ථාවේදී දැරිය හා හිමිනම ධර්ම ශාලාවේ සිටින අයුරු දැක ඇත.

දැරියගේ පියා හිමිනමත් සිය දියණියත් දුටු අවස්ථාවේදී හිමිනම පලාගොස් ඇති අතර පසුව දැරිය පියා විසින් නිවෙසට රැගෙන ගොස් තිබිණි. මව විසින් පසුදා 24 වැනිදා කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් සිදුකර තිබිණි. පසුව එවකට කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවය කළ කාන්තා උප පොලිස් පරික්ෂිකා ස්වර්ණා මහත්මිය විසින් අතවරයට ලක්ව සිටි බාල වයස්කාර දැරිය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බී.එම්.බී.සී. බණ්ඩාරනායක මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබිණි.

ඒ අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලඝුනොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමුකොට, අධි චෝදනා ගොනු කර 2017 වර්ෂයේ අක 3804/17 යටතේ චෝදනා දෙකක් සමඟ සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණය වෙත නඩුව යොමුකොට තිබිණි. ඊයේ (17දා) නඩුව කැඳවූ අවස්ථාවේදි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනා දෙකටම විත්තිකාර හිමිනම වැරැදිකරු කළ මහාධිකරණ විනිසුරුවරයා පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩ මුදලක්ද නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක්ද නියම කෙරිණි.

ඊට අමතරව වසර හතරක ලිහිල් සිරදඬුවමක් නියම කර එය වසර පහළොව දක්වා අත්හිටුවන ලෙසට නියෝග කෙරිණි. දෙවැනි චෝදනාවට වසර 11ක ලිහිල් වැඩසහිත සිරදඬුවමක් ද රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කෙරිණි. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කෙරිණි. රුපියල් ලක්ෂයක මුදලක් වින්දිත දැරියට ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් මාස නවයක ලිහිල් සිරදඬුවමක් නියම කෙරිණි.

තවද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසත් එයින් 10%ක මුදලක් විදිතයන් ආරක්ෂා කිරිමේ අරමුදලටද බැර කරන ලෙසත් නියෝග කෙරිණ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ එරංග දසනායක මෙනෙවිය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ මැල්කම් මචාඩෝ මහතා පෙනී සිටියේය. පොලිසිය වෙනුවෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් නිශ්ශංක (30651) අධිකරණයේ පෙනී සිටියේය.

-චමින්ද ජයලත්-