දස හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකොට පොලිසියෙන් මහ හැර සැඟවී සිටි පුද්ගලයකු 19 දින අලුයම කිසියම් පිරිසක් අල්ලාගෙන දැරිය දූෂණය කළ ස්ථානයටම ගෙන ගොස් පහර දී ඝාතනය කොට ඇතැයි  ගල්කිරියාගම පොලිසිය කියයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් බල
ප්‍රදේශයේ දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එම්. දසනායක (50) නමැති දෙදරු පියෙකි.

දඹුලු හල්මිල්ලෑව, හබරතාවල ප්‍රදේශයේ දරුවන් පස්දෙනකුගෙන් යුත් ඉතා අසරණව සිටින පවුලක දස හැවිරිදි දැරියක් මෙම පුද්ගලයා විසින් රවටා ගෙන පසුගිය දිනෙක ඔහුගේම වම්බටු හේනකදී මෙම අපරාධය සිදුකොට තිබෙන බව මවුපියන් විසින් මිට දින කිහිපයකට ඉහතදී ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කොට තිබිණි. මෙම පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගැනීමට යන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බව පොලිසිය කියයි.

පසුව 19 දින සිට
ගමේ තරුණයන් පිරිසක් මෙම පුද්ගලයා සෙවීමේ කටයුතු දියත් කොට තිබී ඇතැයි පොලිසිය කියයි. පසුව 19 දින අලුයම් කාලයේ නිවෙසක පිටුපස මෙම පුද්ගලයා රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සහ අපරාධය සිදු වූ දැරියගේ පියා ඔහු අල්ලා ගැනීමට ගිය බවත් පසුව එම ස්ථානයේ දී ඇති වූ ගැටුමකින් මෙම පුද්ගලයා මිය යන්නට ඇතැයි දැරියගේ මව කියා සිටියාය.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දස හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්කොට ඔහුගේම තවත් මිතුරෙකුට මෙම දැරිය ලිංගික අපයෝජනයට ලබා දී තිබෙන බවත්, ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් සිට 20 දින නීතිවේදියකු මාර්ගයෙන් ගල්කිරියාගම පොලිසියට භාර වූ බවත් පොලිසිය කියයි. මියගිය ඩි.එම්. දසනායකගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරි ලක්මාලි එම්. ගමගේ මහත්මිය විසින්
පවත්වා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි සිදුවීමෙන් සිදුවූ මරණයක් බව පොලිසියට දැනුම් දී තිබේ.

අපරාධයට ලක්වූ දැරියගේ පියා තමන් විසින් මෙම පහරදීම සිදුකළ බව පවසා ගල්කිරියාගම පොලිසියට භාර වූ බව ගල්කිරියාගම පොලිසිය කියයි. පොලිසියට භාර වූ පියා සහ අනෙක් සැකකරු කැකිරාව මහෙස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. මෙසේ බන්ධනාගාර ගත වූවේ දැරියගේ පියා වන ප්‍රදීප් සම්පත් අබේකෝන් සහ දැරිය අපයෝජනයට ලක් කළ බවට සැකකරන ගාමිණී පොඩි බණ්ඩාර යන දෙදෙනෙකි.

මෙම අපරාධයට ලක් වූ දැරියගේ මව පොල් ගස් නැහ ඉතා අසීරුතා මධ්‍යයේ දරුවන් පස් දෙනකු ජීවත් කරවීම සිදුකර තිබෙන අතර පසුගියදා අප ඒ පිළිබඳව ජනමාධ්‍ය මඟින් ද හෙළිදරව් කළෙමු.

-කේ.කේ.ආරියදාස-