ජූනි 08 වැනි දිනට යෙදී තිබුණු ජගත් සාගර දිනය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය ජූනි 6 7 8 යන තෙදින පුරා පැවැත්විණි.
සමුද්‍රීය පරිසර අධිකාරිය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුව ත්‍රිකුණාමලය සෝබර් දූපත හා පරෙවි දූපත පරිශ්‍රයේ සාර්ථකව සිදු කෙරිණි.


මේ සඳහා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන් 60 දෙනෙක් පමණ සහභාගී විය.

මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන සමූද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම තෙදින වැඩමුළුව සිදුකෙරිණි.

දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ අප සතු වටිනාම වස්තුවක් වන සාගර සම්පත සහ රමණීය වෙරළ පරිශ්‍රය සීග්‍රයෙන් විනාශ වී යන බවත් මෙනිසා ඉදිරි වසර කිහිපය තුළදී ලංකාව සතු මුහුදු සීමාවේ සුන්දර ස්ථානයන්ට ඇතිවන බලපෑම පිළීබඳවත්  ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා විසින් විශේෂ දේශනයට එක් වෙමින් විස්තර කළේය.

ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුත්  සාගර කලාපයකින් සමන්විත අප රටේ ආකර්ෂණීය කොරල් පර,කඩොලාන,සහ මුහුද තෘණ වැනි ඉහළ වටිනාකමකින් යුත් පරිසර පද්ධති මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙලෙස විනාශ වීම අවාසනාවන්ත තත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම වසර වන විට සාගරයට කසළ බැහැර කරන දූෂිත සාගර කළාප හිමි රටවල් අතරින් ලංකාව 05 වන ස්ථානය ගෙන ඇති බවත් ඒ මහතා කණගාටුවෙන් මතක් කර සිටිය්ය.

මිහිමඩලේ හදවත බඳු සාගරය විශේෂයෙන්ම අප රටේ මිනිසුන්ට ආර්ථිකමය සම්පත් ආකරයක් වන බැවින් එය රැක ගැනීම අප සතු ජාතික වගකීමක් බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 මෙම වැඩමුළුවේදී under water photography, snokerling,ක්‍රියාකාරකම් වල යෙදෙන්නත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් මාධ්‍යෙව්දීන්ට අවස්ථාව ලැබුණී.

-හංස ගීතික ඉදිකැටිය-