දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටලුව පිළිබඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ (20) පස්වරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථකවීම නිසා කලින් සැලසුම් කර තිබූ පරිදි දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ  සිට පැය 48 ක
වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියරින් සංගමයක් ප්‍රධාන  ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසීය.

මෙම සාකච්ඡාවේදී අදාළ ගැටලුව  සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණද,  මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරින් සහ ජනාධිපති පක්කළ විශේෂ කමිටුවේ සාමාජිකයන් විරෝධය දැක්වීම හේතුවෙන් සාකච්ඡා අසාර්ථක වූ බව ද ඔහු කීය.

දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ
සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ, මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාව අසාර්තකවීම නිසා වැඩවර්ජනය ආරම්භ කරන්නේ ඊයේ (20) පස්වරුවේ ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය සියල්ල දුම්රිය ගමනාන්ත වෙත ළගා වීමෙන් පසුව බවය.

 මේ පියවර ගනු ලබන්නේ දුම්රිය මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට යැයි ඔහු කීය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගි වූහ.

දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාවය සඳහා විසඳුම් ලබා නොදුනහොත් වර්ජනය අඛණ්ඩව ගෙන යන ලෙස දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේඛම් මනුර පිරිස් කියා සිටියා

දුම්රිය වර්ජනය හේතුවෙන් ගමන් වාර 40ක් අවලංගු කර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ අද (21)උදෑසන රඹුක්කන ,මහව ,හලාවත ගාල්ල සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය 9ක් සහ යාල් දෙවි දුම්රිය ධාවනය කල බවයි.

කෙසේ වෙතත්, ඉන්ධන ප්‍රවාහන දුම්රිය එලෙසම ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

එමෙන්ම අද පස්වරුවේත්, පෙරවරුවේ ධාවනය වූ දුම්රිය එලෙසම ධාවනය කිරීමට නියමිත අතර දුම්රිය ආසන වෙන් කළ මගීන්ට යළි එම ගාස්තු ලබාදීමට කටයුතු කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා පත් කර ඇති කැබිනට් අනු කමිටුවේ වාර්තාව සති දෙකකින් ලබාදීමට තිබියදී දුම්රිය සේවකයන් වර්ජනයේ නිතරවීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියා.

මිට අමතරව දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් බස් රථ 800 ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි වැඩිදුරටත් කියා සිටියා.