රුහුණු විශ්වවිද්‍යාලය නවක වදයට නම් දැරු සරසවියක් බවත් මතුපිටින් මෙම ගැටලුව දෙස බලා නවක වදය නැති කිරීමට හෝ එය විවරණය කර ගැනීමට නොහැකි බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය 
ගාමිණි සේනානායක මහතා පැවසීය. ඊයේ (11) රුහුණු සරසවියේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු උපකුලපතිවරයා  මෙම අදහස් පළ කළේය. රුහුණු සරසවිය තුළ නවක සිසුන් සඳහා නවක වදය වසරක කාලයක් පුරා ගෙන යන බවත් එහිදී නවක සිසුන් සෑම උදඝෝෂණයකටම ගෙන යා හැකි ලෙස මෙය සිදු 

කරන බවත් පැවසූ හිටපු උපකුලපතිවරයා උද්ඝෝෂණවලට සහභාගී වන නවක සිසුන් නැවත දේශනවලට පැමිණීමට කොපමණ ප්‍රමාද වන්නේද යන්න පිළිබඳ තමාට දත්ත  ඇති බවද පැවසුවේය.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් කිසිවෙක් උද්ඝෝෂණ සඳහා යොමු නොවන බවයි. එමෙන්ම වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට ළමයින් ලක් කරන බවත් මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවත් සඳහන් කළේය. එම ස්ථානයන්හී යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බව පැවසූ කුලපතිවරයා, මෙම ප්‍රදේශයට වසර 15කින් කිසිදු ආචාර්යවරයකුට, කාරක මණ්ඩලයට හෝ ආරක්ෂක මණ්ඩලයට යෑමට ඉඩ නොදී තිබුණු බවත් පැවසීය.

සිසුන් අතරින් සමහරකු දේශපාලන පක්ෂයක සමාජිකත්වය ගෙන ඇති බවත් ඔවුන්ගෙන් විමසු විට එවැන්නක් නොමැති බව පවසන නමුත් එම පක්ෂය විසින් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන බවද, මෙය නතර කර දැමුවේ නැති නම් ඉතා භයානක තත්වයක් ඇති විය හැකි යැයිද උපකුලපතිවරයා සඳහන් කළේය.මෙම අගතිගාමී දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වී ඇති ශිෂ්‍යයන් රුහුණු සරසවියේ සංවර්ධනය කටයුතු කරගෙන යෑමට මේ වන විට ඉඩ නොදීම  හේතුවෙන් මෙම සියලු කරුණු මාධ්‍යයට හෙළි කළ බවද ඔහු කියා සිටියේය.

-නිර්මාණී බණ්ඩාරනායක-