https://www.gossiplankanews.com/2019/06/nawalapitiya-school-batch.html#more
සුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු නාවලපිටිය සොයිසාකැලේ කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ
අධ්‍යාපනය ලබන සිසුවියන් සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස වෙන්කර එක් එක් ජන වර්ගයට අනුව
වර්ණ තුනක
ලාංඡන (බැජ්) පැලඳ පාසලට පැමිණෙන ලෙස දන්වා පාසල තුළට ඇතුළු කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම
නිසා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන ආසන සංවිධායක නාවලපිටිය නගර සභාවේ සභාපති
සසංක සම්පත් සංජීව මහතා පස්බාගේ කෝරලයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් පෙරේදා
 (10දා)

සවස නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ
පැවැති පස්බාගේ කෝරලයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විමසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා අපි පාසල් යන කාලයේ මෙවැනි බෙදීමක් තිබුණේ නැහැ. ඒ
කාලයේ මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් එකම පාසලකට පැමිණෙන සියලු  සිසු සිසුවියන් පැලඳගෙන
සිටියේ එකම වර්ණයක පොදු ලාංඡනයක් (බැජ්) පමණයි. ඒකෙන් දරුවාගේ ජන වර්ගය හෝ ආගම නෙවෙයි
පාසල පමණයි හඳුනා ගත්තේ. ඒ නිසා එදා අප සමඟ පාසල් ගිය සියලු ආගම් සහ ජාතීන්ට අයත් අය
අදත් අපේ මිත්‍රයෝ. ඒත් මේ කනිෂ්ඨ බාලිකාව දරුවන්ගේ ජාතිකත්වය, අනන්‍යතාව පාර දිගේත්
ප්‍රදර්ශනය කිරීම රටේ පවතින තත්ත්වය අනුව සුදුසුදැයි විමසා බැලිය යුතු බවද පැවැසීය.

මෙයට පිළිතුරු ලබාදුන් පස්බාගේ කෝරලයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් රාජපක්ෂ මහතා සහ
පස්බාගේ කෝරලයේ පාසල් සංවර්ධන නිලධාරි කේ.එස්. මාරසිංහ මහතා

අපි දැනුවත්ව නෙවෙයි මේ දේ සිදුකරලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගැන කඩිනමින් සොයා බලා සුදුසු
පියවරක් ගන්නා බව පැවැසීය.

මේ පිළිබඳව පසුගියදා (6දා) නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේ පැවැති නගර සභාවේ මාසික
මහ සභා රැස්වීමේදී නාගරික මන්ත්‍රි ඒ.එච්. අසුරබලී (ජවිපෙ) මන්ත්‍රිවරයාද සොයිසාකැලේ කනිෂ්ඨ
බාලිකාවේ සිංහල දැරියන්ට ළා නිල් පාටත් දෙමළ දැරියන්ට තද තැඹිලි පාටත්, මුස්ලිම් දැරියන්ට ළා
කොළ පාටත් සහිත ලාංඡන (බැජ්) පාසලට එන විට පැලඳගෙන එන ලෙස දැනුම්දී ඇති බවද ඒ අනුව
දරුවන් වර්ග කිරීම ගැන අධ්‍යාපන බලධාරීන්ට චෝදනා කරමින් කුමන පදනමක් මත මෙසේ දරුවන් වර්ග
කළේදැයි ප්‍රශ්න කරමින් ඔහුගේ විරෝධතාවද ප්‍රකාශ කළේය.

නාවලපිටිය - අතුල දිසානායක