අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට විප්ලවීය ප්‍රවේශයක් ලබාදෙමින්, තවත් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ටැබ් පරිණක ලබාදීමේ අධ්‍යයන අමාත්‍යාංශ වැඩපිළිවළට ඊයේ (25දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

මෙය මෑතකාලීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ  සුවිශිෂ්ට ජයග්‍රහණයක් බවත්, එය සිසු දරු දැරියන්, ගුරු භවතුන්, දෙමවුපියන් ඇතුළු අධ්‍යාපන
නිරත සියලු පාර්ශවයන්ට  අතිශයින් සතුටට පත්විය හැකි මොහොතක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත්, උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඉතා ඉක්මනින් පාසල් පද්ධතිය තුළට මෙම ටැබ් පරිගණක බෙදාහැරීම  සහ ඊට  අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටීයේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ  ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් ලෙස
දෙවැනි වර විභාගයට පෙනී සිට සමත් වූ සහ ජාතික පාසල්වලට අනියුක්තව ගුරු සහායක පත්වීම් ලබා සේවයේ යෙදී සිට උපාධි සුදුසුකම හෝ ගුරු පුහුණුව සම්පුර්ණ කිරීම මත ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවාගත් ගුරුවරුන් වෙනුවෙන් ඊයේ අධ්‍යාපන අමාතයාංශ පරිශ්‍රයේ පැවැති පත්වීම් ප්‍රදානෝත්සවයට එවමිනි.

එහිදී නවක ගුරුවරුන් 44 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය කෙරිණි.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ සහ රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.