ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් වෙනුවෙන් නව ඇමතිවරු (අනුප්‍රාප්තිකයන්) පත් නොකිරීමට ආණ්ඩුව අදහස් කරගෙන ඇති බව වාර්තා වේ.

ඉල්ලා අස් වූ ඇතැම් මුස්ලිම් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් විවිධ ජනමාධ්‍ය ඇතුළු ඇතැම් පුද්ගලයන් චෝදනා එල්ල කළ අතර, ඒ සඳහා විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.

මෙම ඒකකය මගින් මාසයක් ඇතුළත එම පරීක්ෂණ ක්‍රියාත්මක කර

වාර්තාවක් ලබාදෙනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින අතර, එම වාර්තාවෙන් පසුව නිරෝදෝෂි අමාත්‍යවරුන්ට යළි අමාත්‍ය පදවි ලබාදීමටත්, වැරදිකරුවන් වෙත නඩු පැවරීමටත් තීරණය කර ඇති බවද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ ඒකකයේ පිහිටුවා ඇති විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේදී සාක්ෂි සහිත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළ යුතුව ඇති අතර, ලබන 12 වැනිදාට පෙර පැමිණිලි ඉදිරිපත් කළ යුතුව තිබේ.

මෙම පරීක්ෂණයෙන් පසුව යම් කිසිවෙකු සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වුවහෙත් ඔවුන් සම්බන්ධයෙන් නඩු පැවරීමටත් නිර්දෝෂි පුද්ගලයන්ට යළිත් අමාත්‍ය තනතුරු ලබාදීමටත් එතෙක් අදාළ අමාත්‍යධුරවලින් ඉවත්වූ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස ආදිය යළි පවරා නොගැනීමටත් ආණ්ඩුව අදහස් කරගෙන සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.

චාමර සම්පත්