සිංහල හා මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් යුතුව මේ රට තුළ වසර සිය ගණනක් තිස්සේ එකට ජීවත් වූ බවත්, එම බැඳීම තව දුරටත් ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යා යුතුව තිබෙන බැවින්, ත්‍රෛනිකායික මහා සංඝරත්නය රැස්වූ මුස්ලිම් ඇමතිවරුන් කැඳවා ප්‍රශ්න සාකච්ඡා කිරීමට තීරණය කළ බවත් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ඥාණරතන මහ නාහිමියන්ගේ ප්‍රකාශ කළහ.

ජාති හා ආගම් වශයෙන් අප වෙනස් වුවත් සියලු දෙනා මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතු බවත්, ජාති,ආගම් භේද නොමැතිව සියලු ජාතීන් සහෝදරත්වයෙන් ජීවත් වීම ඉතා වැදගත් බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය.

මහනායක හිමියන් මේ බව ප්‍රකාශ කළේ අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් පිරිස

අමාත්‍ය ධූරවලින් ඉවත්වීම සඳහා තමන් තීරණය කිරීමට
හේතු වූ කාරණා සම්බන්ධව මහ සංඝරත්නය දැනුවත් කිරීම පිණිස ඊයේ (11දා) අස්ගිරි මහ විහාරයට පැමිණි අවස්ථාවේදීය.

චෝදනා එල්ල වූ අයත් සමග මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ඇමැති තනතුරුවලින් ඉවත් වීම වැරදි බවට මහ සංඝරත්නය සාකච්ඡා කර තීන්දුවක් රටට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මුස්ලිම් ඇමැතිවරු ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණීම සම්බන්ධව සතුටු වන බවද අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපුජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියෝ මෙහිදී ප්‍රකාශ කළේය.

මල්වතු මහා විහාර පාර්ශවය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරී නාහිමියන්ද සහභාගි වී සිටි අතර, රාජ්‍ය මණ්ත්‍රණ සභාව ක්‍රියාත්මකවු යුගයේ පටන් වර්තමානය දක්වාම මුස්ලීම් මන්ත්‍රී නියෝජනය පාලන තන්ත්‍රයට ඇතුළත්ව තිබූ බවත්, පතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලයන්ගේ සිට සිංහලයේ අවසන් රාජධානි සමය දක්වාම මුස්ලිම් ජාතිකයන් රට වෙනුවෙන් යම් යම් පර්ත්‍යාග සිදුකර තිබෙන බවත් මෙහිදී අහස් දක්වමින් උන්වහන්සේ පැවසුහ.

පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් මුස්ලිම් ඇමැතිවරු දැන සිටියේද යන සැකය සමාජය තුළ තිබීයදී සියලු මුස්ලිම් මන්ත්‍රීවරු ඇමැති තනතුරු අත්හැරීම හේතුවෙන් සමාජය තුළ කිසියම් කැළඹීමක් ඇති වූ බවත්, මහ සංඝරත්නය එම අවස්ථාවේ සාකච්ඡා කර චෝදනා එල්ල නොවන පිරිස යළිත් වගකීම රට වෙනුවෙන් බාර ගැනීම උචිත යැයි ප්‍රකාශ කළේ ඒනිසා බවත්

අනුනායක හිමියෝ පැවසූහ.

එහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ,

"විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පැහැදිලි ගැටුමක් වර්තමානයේ ඇතිව තිබෙනවා. අධිකරණය සම්බන්ධවද යම් යම් මතභේද පවතිනවා. ඒවා තුළ දේශපාලන වාතාවරණය මත මෙම ප්‍රහාරය එල්ලවන්නට ඇතැයි සිතනවා. මුස්ලිම් ඇමැතිවරු තනතුරුවලින් ඉවත් වීම මගින් ඉදිරීයේදී ජාතන්තර වශයෙන් අප රටට ඇතිවිය හැකි නොපිළිගැනීම තුළ භයානක ප්‍රතිඵල අත්විය හැකියි. යළි තනතුරු බාරගෙන රට වෙනුවෙන් වගකීම් ඉටු කරන ලෙස චෝදනා නොමැති ඇමැතිවරුන්ට යෝජනා කළේ මේ නිසායි. විදේශ බලපෑම් එල්ල වෙද්දී ආවේගශීලී හැඟීම් ඉස්මතු වීම් අවදානමක් පවතිනවා."

මද්‍රාසා පාසල්, ෂරියා විශ්වවිද්‍යාල ඇතුළු කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවන්ට පැමිණිය යුතු බවත්, රටතුළ පොදු විචාහ නීතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මුස්ලිම් මැති ඇමැතිවරුන්ගේ සහය අවශ්‍ය වන බවත් මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.  මෙහිදී හිටපු අමාත්‍යවරුන් වන රවුෆ්  හකීම්, රිෂාඩ් බදියුදීන්, එම්.එච්.එම්  හලීමි, ෆයිසර් මුස්තාපා යන මහත්වරු අදහස් දැක්වූහ. හිටපු ඇමැතිවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, අමීර් අලි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.