කුලියාපිටිය පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක සසුන්ගත කිරිමට නියමිතව සිටි හත් හැවිරිදි දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන පොලිස් භටයෙකු පෙරේදා (17) සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය කියයි.

බරපතළ ලිංගික අපයෝජනයට
ලක්වූ බව කියන දරුවා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරියක් පැවැසීය.

පසුගිය පොසොන් පොහොය දිනයේ (16) කුලියාපිටිය පොලිස් වසමට අයත් විහාරස්ථානයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් භටයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

විහාරස්ථානයේ සැරසිලි කරමින් සිටි තරුණ පිරිසක් දරුවා හඬමින් සිටින අයුරු දැක විස්තර විමසීමේදී දරුවා සිද්ධිය ගැන එම තරුණයින්ට පවසා ඇති බව එම පොලිස් නිලධාරියා කීය.

කුලියාපිටිය මූලස්ථාන පොලිසියට මේ ගැන පසුව පැමිණිලි කර ඇති අතර පොලිස් පරීක්ෂණ පවත්වා සැකකාර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් කුලියාපිටිය මූලස්ථාන පොලිසියට අනියුක්තව රාජකාරි කරන 42 හැවිරිදි දෙදරු පියෙකි.