තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට පසුගිය  වසරේ දෙසැම්බර් මාසයේ 25වැනිදා කඩාවැදී වෙඩි තබා හතර දෙනකු ඝාතනය කර තවත් 08 දෙනකුට බරපතළ තුවාල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකෝටිපති මාළු ව්‍යාපාරිකයෙක් රහස් පොලිසිය විසින්  පෙරේදා (19) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූවේ තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේස්ම පදිංචි 34 හැවිරිදි කෝටිපති මාළු ව්‍යපාරිකයෙකි.  බහුදින (ට්‍රෝලර් යාත්‍රා) යාත්‍රා පහක  අයිතිකරුවෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබූවේ සිද්ධියට ආධාර  අනුබල දීමේ චෝදනාචකට යැයි රහස්  පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවැසීය.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි  දෙදෙනාගෙන් එක් අයකු මෙම සිද්ධිය වූ වකවානුවේ තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔහු තවමත් රිමාන්ඩ් බාරයේ පසුවන බව පොලිසිය කියයි. අනෙක් පුද්ගලයා
මේ වනවිට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවට තොරතුරු රහස් පොලිසියට ලැබී තිබෙන බව පැවසේ.

ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු යොදාගෙන යයි.  ඉන්දියාවට පලා ගොස් සිටින මෙම සැකකරු 2010 වසරේ අගෝස්තු මාසයේ 10 වැනිදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය බාරව සිටි නියෝජ්‍ය මහකොමසාරිස් එච්.එම්. ඩෙන්සිල් මහතාට පහරදීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවී පසුව ඇප ලබා සිටි අයකු බව ද රහස් ස්පොලිසිය පවසයි.

මහින්ද නමැති මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ අරමුණින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් එම වෙඩි  ප්‍රහාරයෙන් ඔහුගේ ජීවිතය බේරී ඇති නමුත් ඔහුගේ පුත්‍රයා වන වයි.ජී. උදය කුමාර, මාළු ව්‍යාපාරිකයාගේ (මහින්ද) ඥාති පුතෙකු වන ශෂික් තිවංක නමැත්තෙක් ඇතුළු හතර දෙනකු මිය ගොස් තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප  දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රහස්  පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී ශානි අබේස්කර  මහතාගේ විශේෂ උපදෙස් යටතේ සහකාර පොලිස් අධිකාරි ලොකුහෙට්ටිගේ මහතාගේ  මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස්  පරික්ෂක මුණසිංහ සහ පොලිස් පරීක්ෂක රාජකරුණා යන මහත්වරුන් ප්‍රධාන  පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකාර මාළු ව්‍යාපාරිකයා අත්අඩංගුවට  ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Email ThisBlogThis!Share to TwitterShare to Facebook