උපාධිධාරීන් දහසකට තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුවක්  ලබාදී ඔවුන් එම ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුකිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය පවසයි.

තොරතුරු තාක්ෂණ නොවන විෂයන්ගෙන් උපාධිය ලැබූවන්  මේ සඳහා තෝරාගැනීමට නියමිත අතර ඔවුන්ට පුහුණු කාලය  කුළදී රුපියල් 50,000ක දීමනාවක් ලබාදීමටද කටයුතු යොදා ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවට ද මෙයින් විසදුම් ලැබෙන  බව ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම කාර්යය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති අතර පුහුණුව අවසානයේ ඔවුන්ට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන්ට යොමුවීමට හැකිවනු ඇතැයි  ද ඇමැතිවරයා කීවේය.

 මේ වනවිට ශ්‍රී ලංකාවට වැඩිම අපනයන ආදායමක් ලැබෙන මාර්ග අතුරින්  4 වැනි ස්ථානය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට හිමිවී ඇතැයි කී අජිත් පී. පෙරේරා මහතා එයින් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ආදායමක් හිමිවන බව ද  පැවසීය.  ඉදිරි වසර 10 තුළ එය මෙරට වැඩිම අපනයන ආදායම් මාර්ගය වනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

-ඩයනා උදයංගනී-