https://www.gossiplankanews.com/2019/06/isis-india-reveal.html
ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන් IS සමග සම්බන්ධතා පවත්වන ලදැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් පස්දෙනකුගේ දුරකථන අංක පිළිබඳ තොරතුරු ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සපයනු ලැබ තිබේ. පාස්කු ඉරිදා බෝම්බ පිපිරුමට සම්බන්ධ
ශ්‍රී ලාංකික පවුල් දෙකක් සහ ඉන්දියානු ජාතිකයන් කිහිපදෙනකු අතර ඇතිවූ දුරකථන ඇමතුම් විස්තර ද මේ සමඟ ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර ඇත.


ඉන්දියාවේ ජාතික රහස් පරීක්ෂණ ආයතනයේ (NIA) කණ්ඩායමක් පසුගිය සතියේ ශ්‍රි ලංකාවට පැමිණ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැකකටයුතු සම්බන්ධකම් පැවැත්වූවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අතර, ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදයට සම්බන්ධ ඉන්දියානු සැකකරුවන් සමග සෘජුව හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ගනුදෙනු කළ ශ්‍රී ලාංකිකයන් හතරදෙනකු හෝ පස්දෙනකු පිළිබඳව හෙළිදරව් කරගෙන ඇත.

නමුත් එම පුද්ගලයන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ දැයි සොයාගෙන නැතැයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකු පවසා තිබේ. පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු වූ සහරාන් හසීම් විසින් යම් ප්‍රහාරයක් දියත් කළ හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් කරනු ලැබුවේද ඉන්දියාවේ ජාතික රහස් පරික්ෂණ ආයතනය විසිනි.

ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රහාරයෙන් පසු කේරළ තරුණයකු වන රියාස් අබුබකර් අත්අඩංගුවට ගැනීමටද එම ආයතනය කටයුතු කළේය. මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමට සම්බන්ධ ඉන්කාෆ් සහ ඊබ්‍රාහිම් පවුල් දෙකේ සහෝදරයන් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැක කෙරෙන කිහිපදෙනකු සොයාගැනීමට ද එහි නිලධාරිහු සමත්වී සිටිති.