අතුරලියේ රතන හිමියන්ට රට ජාතිය පිළිබඳව සැබෑ කැක්කුමක් තිබුණේ නම් උන්වහන්සේ උපවාස කළ යුතුව තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමත් සමග යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම්
ගලගොඩඅත්තේ
ඥානසාර හිමියෝ කොළඹ දී ඊයේ (04) පැවසුහ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී මාස දෙකකට ආසන්න කාලයක් ගතවන මොහොතක දී රතන හිමියන් දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක නිරතවීමෙන් රට හමුවේ ඇති සැබෑ ප්‍රශ්නයට ගිය බව ද ඥානසාර හිමියෝ රාජගිරියේ සද්ධර්මකරාජික විහාරස්ථානයේ ඊයේ (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළහ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත් කර ගැනීමට මූලික වූ හිමිනමක් ලෙස රතන හිමියන්ට චෝදනා ලැබූ ඇමැතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් ඉවත් කිරිම සම්බන්ධයෙන් පාලකයන් සමග සාකච්ඡා කොට ප්‍රශ්නය විසඳා ගැනීමට හැකියාව තිබිණි යැයිද ඥානසාර හිමියෝ පැවසූහ.

තනි තනිව සටන් වැද රටේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීමට නොහැකි බවත් ජාතියට හිතැති සියලු බලවේග එකට එක්වී රටේ ජාතික ගැටලුවට විසඳුම් සෙවිය හැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

(හසිත රංග ගුණතිලක)