වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මුස්ලිම් ජාතිකයන්ට දංකොටුව සතිපොළෙහි වෙළදාම් කිරීම තහනම් කරමින් ඊයේ (25) නියෝගයක් නිකුත් කර තිබේ. සතියේ සෑම සඳුදා දිනකම පැවැත්වෙන දංකොටුව සතිපොළේ දෛනික වෙළදාම් කටයුතුවලින් මුස්ලිම් වෙළෙඳුන් පලවාහැරීමට  පෙරේදා (24) නගරවාසීන් පිරිසක් කටයුතු කර ඇති අතර වහා එම ස්ථානයට පැමිණි දංකොටුව පොලිසියේ නිලධාරින් ඊට මැදිහත්ව ඇති වන්නට ගිය ගැටුම සමථයකට පත්කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් දංකොටුව සතිපොළ භූමියට මුස්ලිම් ජනතාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව විරෝධතාකරුවන් පවසා ඇති අතර දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් නිලධාරින් එම පිරිසට පවසා ඇත්තේ ජාති, ආගම් හෝ පක්ෂ භේද මත සතිපොළේ වෙළඳාම් කිරීමේ අයිතිය අහිමි කිරීමට ඉඩදිය නොහැකි බවයි.

එහිදී දංකොටුව පොලිසිය ගත් ආරක්ෂක පියවරට පිරිසක් බාධා කළ අතර, පොලිස් රාජකාරි කටයුතුවලට බාධා නොකරන ලෙසත් මුස්ලිම් ජනතාවට මෙම සතිපොළේ වෙළඳාම් කිරීම තහනම් කළ ලිඛිත නියෝගයක් ඇත්නම්
එය තමන් වෙත ලබා දෙන ලෙසත් පොලිසිය  පවසා ඇත. ස්වල්ප මොහොතකින් එක් පිරිසක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති  සුසන්ත පෙරේරා මහතාගේ අත්සනින් යුත් ලිපියක් පොලිසියට බාර දී තිබේ.

රට තුළ පසුගිය කාලයේදී සිදු වූ අන්තවාදී ක්‍රියාවන් හේතුවෙන් විවිධ ප්‍රදේශවල ගැටලු පැන නැගුණු බවත් දංකොටුව සතිපොළ භූමියට පැමිණෙන වෙළෙඳ ප්‍රජාව අතර මුස්ලිම් ප්‍රජාවද සිටින බැවින් ප්‍රදේශවාසීන් හා වෙළෙඳ ප්‍රජාවගේ දැඩි විරෝධතාව හේතුවෙන් සාමකාමී වාතාවරණයට බලපෑමක් සිදුකිරීමට ඉඩ ඇති බැවින් මෙම තීන්දුව ගත් බව එහි සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ඊයේ (25)  පුවත්පත  වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. වී. සුසන්ත පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් වේ යැයි සිතා මෙම තීරණය ගත් බවයි.

 "කාදිනල්වරයාත් මහනායක හිමියනුත් රටේ ආරක්ෂාව අරාජිකයි කියනවා. මේ තත්ත්වය තුළ තමයි මේ තීරණය ගත්තේ.  මුස්ලිම් පුද්ගලයන්ට පොළේ වෙළඳාම් කරන්න දෙන්න එපා කියලා වෙළඳ ප්‍රජාවගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් පෙත්සම්  දෙකක් ලැබුණා. ඒ නිසා මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරිකයන් 12 දෙනාට ජූලි දෙවැනි සතිය වනතුරු වෙළඳාම් කරන්න දෙන්න එපා කියලා පොලිසියට නියෝග කළා"යැයි සභාපතිවරයා පැවසීය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ඒකාධිපති තීරණයක් ගැනීමට සිදු වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

"වෙන්නප්පුවේ පොළේ සියයට 99ක් ඉන්නේ සිංහල වෙළඳුන්, හදිසියෙවත් ප්‍රශ්නයක් වුණොත් ජනතාවගේ ආරක්ෂව වෙනුවෙන්  වගකියන්න වෙන්නේ මට. ඒ නිසා ජූලි දෙවැනි සතියේ මහසභාව වෙනකම් මුස්ලිම් වෙළෙඳුන්ට වෙළඳාම් කරන්න දෙන්නේ නැහැ. මහසභාව පැවැත්වෙන දවසට බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂයට සහ සිංහල, දෙමළ, මුස්ලිම් වෙළෙඳුන්ට එන්න කියලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. ඒ  වෙනකම් මේ පුද්ගලයන්ට වෙළෙඳාම් කරන්න දෙන්නේ නැහැ." සභාපතිවරයා පැවසීය.

තමන් සභාපතිවරයාගේ ක්‍රියාව හෙළා දකින බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරොන් ප්‍රනාන්දු මහතා පැවසීය. මේ පිළිබඳව කළ විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක අජිත් ගිහාන් මහතා ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙස සභාපතිවරයාගේ මේ ක්‍රියාව දැඩිව හෙළාදකින බවයි. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජගත් පියංකර ප්‍රකාශ කළේ මෙය සභාවේ මතය නොවන බවයි.

 "මේ වෙළෙදුන් අසරණයි. අපි කියන්නේ නැහැ මේ අයට පොළට එන්න දෙන්න එපා කියලා. නමුත් බහුතර වෙළඳ ප්‍රජාව ඉල්ලනවා මේ වෙළෙඳුන්ට එන්න දෙන්න එපා කියලා." වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි අතර එහි පුත්තලම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නායකයකු වන ප්‍රියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙය පක්ෂයේ තීරණයක් නොවන බවයි.

-නිර්මාණී බණ්ඩාරනායක-